සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 41

අඩපද

1. නා.ප්‍ර. හරි හැටි නොගැළපීම.
2. නා.ප්‍ර. කෙටි රබන් පදය.
3. නා.ප්‍ර. පද්‍යයක පාදයකින් අර්ධය.

අඩපන්න

නා. කර්මාන්තයකට අවශ්‍ය උපකරණ; මෙවලම්; ආම්පන්න.

අඩපලක්

නා.ප්‍ර. මෙහෙණින් හිඳගන්නා ක්‍රමය; එක් පයක් හකුළුවා බැඳ ගන්නා පර්යංකය; අර්ධ පර්යංකය.

අඩප්පරය

නා. කම්මුල් ඉදිමෙන රෝගයක්; කම්මුල්ගාය.

අඩමාන

වි. අනුමාන; සැක සහිත; අස්ථිර.
නා.ප්‍ර. සැකය; අනුමානය.

අඩය

නා. යමක් නොසෙල්වෙන සේ සිර කොට තබනු ලබන කැටය හෝ කොටය හෝ ආධාරකය.

අඩයටිදර

නා.ප්‍ර. හෙල්ලක් දරන්නා; කඳකුමරු.

අඩයාලම

1. නා. සලකුණ; සටහන; ලාඤ්ඡනය.
2. නා. සිහි වීමට දෙන ලකුණ; නිමිත්ත.
3. නා. හැඩහුරුකම; ස්වරූපය.
4. නා. හරකුන්ගේ සිරුරේ ගහන හන; හංවඩුව.

අඩයාලම් කොඩිය

නා. රූපයක් ඇඳ තිබෙන ධජය; සටහන සහිත ධ්වජය.

අඩල

1. නා. අඩක් ඉතිරි වූ දෙය.
2. නා. කොටසක් ඉතිරිකොට ගාන ලද පොල් බෑය.

අඩලා ගන්නවා

(කථා.) ක්‍රි. අනුන් සතු ඉඩකඩම් අත්පත් කර ගැනීමට වැටකටු ආදිය ශුද්ධ කරනවා; මායිම් එළිපෙහෙළි කරනවා.

අඩවල්

වි. යන්තම් ඇරුණු; සම්පූණයෙන් නොවැසූ; අඩවන්.

අඩව්ව

1. නා. නැටුම් පදයක්; නැටුමක විරාමයකට පෙර පාන නැටුම; කෙනෙකූට ගෞරව කිරීමක් වශයෙන් නටන නැටුම.
2. නා. පය පැකිලීමෙන් හෝ නොසැලකිල්ල නිසා හෝ සිදුවන වැටීම; අනතුරුදායක අවස්ථාව.
3. (රූඪි.) නා. මතභේදාත්මක වූ අවස්ථාව; ගැටුම්කාරී අවස්ථාව.

අඩවිය

1. නා. මහා වනය; වනාන්තරය; අරණ්‍ය ප්‍රදේශය; මූකලාන; අටවිය.
2. නා. අඩයටිය; හෙල්ල.

අඩවිය දර

නා. හෙල්ල දරන්නා; කඳකුමරු; අඩයටිදර.

අඩස

නා. දෙකට බෙදූ කොටස; අර්ධය; අඩ.

අඩසඳ

1. නා. අඩක් පිරුණු සඳ; අටවක දවසෙහි පායන සඳ; අර්ධ චන්ද්‍රයා.
2. නා. සම්පූර්ණ අඩ කවයක සටහන; අර්ධ වෘත්තාකාර රූපය.
3. නා. සඳ පළුවක් වැනි මූණතක් ඇති ඊගස.

අඩසඳ පහණ

නා. සඳ පළුවක හැඩහුරුකමට කපා සකස් කළ ගල; සඳකඩ පහණ,

අඩස් බැල්ම

නා. අඩැසින් බැලීම; මඳක් පියාලූ ඇසින් බලන බැල්ම; අර්ධ නිරීක්ෂණය.

අඩස්සි පොල්ල

(කථා.) නා. යමක් හරස් කර බඳින පොල්ල; අවහිර කරනු පිණිස බඳින පොල්ල.

අඩස්සිය

1. නා. මලමූත්‍ර ආදිය සිර වීම; වාතය හිර වීම.
2. නා. අවහිරය; වැළැක්වීම; නැවැත්වීම.

අඩසිරය

නා. වැළැක්වීම; සිරකිරීම.

අඩ්ඩාළ්හ

නා. අඩ නැළිය; මනාව.

අඩ්ඩුපෝසථය

නා. දවසින් අර්ධයක් රකින පෙහෙවස; අඩ පෙහෙවස.