සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 432
කලාධාර
නා.ප්‍ර. සඳ; චන්ද්‍රයා.
කලානිධි
නා.ප්‍ර. සඳ; චන්ද්‍රයා.
කලාප කොපුව
(පාරිභා.) නා. ශාකයක සනාල කලාපය වටා වූ විශාල සෛලවලින් සෑදුණු ස්තරය (=bundle sheath).
කලාප සම්මර්ශනය
නා. (අභි.) කාමාවචර, රූපාවචර, අරූපාවචර සංඛ්‍යාත ත්‍රෛභූමක සංස්කාර ධර්මයන් ස්කන්ධාදි කලාප වශයෙන් ගෙන හකුළුවා අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්රිලක්ෂණයට අනු ව මෙනෙහි කිරීම.
කලාපය
1. නා. මිටිය; පොකුර; සමූහය.
2. නා. සඟරාවක හෝ ප්රවෘත්ති පත්‍රයක හෝ එක වරකට මුද්‍රණයෙන් නිකුත් වන කොටස හෙවත් කාණ්ඩය.
3. නා. සංස්කෘත ව්‍යාකරණ ක්‍රමයක්.
4. නා. කොටස; පරිච්ඡේදය.
5. නා. මොනර පිල්.
6. නා. හී කොපුව.
7. නා. ආභරණය; භූෂණය.
8. නා. (ස්ත්‍රීන්) ඉණෙහි පලඳින මිණිගෙඩි බැඳි හුය.
9. නා. (අභි.) (එක විට උපදනා වූ එක විට නිරුද්ධ වන්නා වූ එක ම නිශ්‍රය ඇති එකතුව පවත්නා වූ) රූපධර්ම සමූහය; රූපකලාපය.
10. (පාරිභා.) නා. නිවර්තන වෘත්ත ද්වයයෙන් ද ධ්රැව වෘත්ත ද්වයයෙන් ද පෘථිවිගෝලයේ මතු පිට බෙදී ඇතැයි සැලකෙන දේශගුණික කොටස් පහෙන් එක එකට ව්‍යවහාර වන නාමය.
කලාබුක
නා.ප්‍ර. කීප පොටක් එකට ගොතා සාදා ගත් ඉණෙහි බඳිනා පටි විශේෂයක්.
කලායතනය
නා. නැටුම්, වැයුම්, චිත්‍ර, මූර්ති ආදි ලලිත කලාවන් පුහුණු කරවන විද්‍යාලය.
කලාවේදියා
නා. නෘත්‍ය, ගීත, ආදි කලා පිළිබඳ දැනුම ලත් තැනැත්තා.
කලාශිල්ප
නා.ප්‍ර. කලා වශයෙන් ගැනෙන විෂයයන් හා ශිල්ප වශයෙන් ගැනෙන විෂයයන්; කලා නිර්මාණ; කලා කෘති.
කලාශිල්පී
නා.ප්‍ර. විශේෂයෙන් නෘත්‍ය, ගීත, මූර්ති ආදි කලා ශිල්පවල යෙදෙන තැනැත්තා; කලා කෘතියක් නිර්මාණය කරන්නා.
කලාසිකාරයා
1. නා. කැරලිකාරයා; යුද කිරීමට හදිසියෙන් පනින්නා.
2. නා. ඔරුකාරයා; නාවිකයා.
කලාසිය
නා. ජල යාත්‍රාවක සේවය කරන පිරිස.
කලාසිසි
නා.ප්‍ර. කලා සම්පූර්ණ නොවූ චන්ද්‍රයා; අඩසඳ; අර්ධ චන්ද්‍රයා.
කලාසෞන්දර්යය
නා. කලාවෙහි දක්නා සුන්දරභාවය; කලාවල ඇති සුන්දරත්වය.
කලි
වි. මනෝඥ වූ; සම්භාවනීය වූ.
1. නා.ප්‍ර. පාපය; වරද; අධර්මය.
2. නා.ප්‍ර. යුද්ධය; අරගලය.
3. නා.ප්‍ර. කල්පයක් බෙදනු ලබන යුග හතරින් සතරවැන්න; කලියුගය.
4. නා.ප්‍ර. මල් කැකුළ; මොට්ටුව.
නි. අවධාරණය, පද පූරණය ආදිය සඳහා යෙදේ; වනාහි; නම්.
කලිකලහය
නා. අරගලය; අඬදබරය; කලකෝලාහලය; යුද්ධය.
කලිකාල
නා.ප්‍ර. කලියුගයට අයත් කාල පරිච්ඡේදය; කලි යුගය.
වි. කාලාන්තරයක සිට පවතින; ඉතා පැරණි.
කලිකාව
1. නා. මොටියා; මොරෙයියා; අංකුරය.
2. නා. මල් මොට්ටුව; මල් කැකුළ.
3. නා. පහනක දැල්ල නැවැත්වීම සඳහා එල්ලන ආවරණය.
කලිඞ්ගරය
නා. ලී කොටය; ලී කැබැල්ල.
කලිඟුබැඳුම
නා. වැව් මියර බිඳුණු විට දිය රඳා සිටීම සඳහා වැව තුළ බැඳි මියර.
කලිඟුරු
නා.ප්‍ර. තඹ, පිත්තල භාජන ආදියෙහි බැඳෙන නිල්පාට අම්ලය.
කලිඟුල
නා. වැවක පිටාර යන දිය රැඳීමට පිටතින් බැඳි මියර.
කලිච්චිය
නා. සූදුපොළ හිමියා විසින් සූදුකරුවන්ගෙන් අය කරගනු ලබන ගාස්තුව; තෝං මුදල.
කලිණි
වි. සිත්කලු වූ; මනෝඥ වූ; කල්‍යාණ වූ.