සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 431

කල්පායුෂ්ක

[කල්ප + ආයුෂ්ක]
වි. කල්පයක් ආයුෂ ඇති.

කල්පිත

1. වි. සිතින් මවා ගත්; කාල්පනික.
2. වි. අනුමානයෙන් සිතාගත්; උපකල්පිත (= hypothetical).
නා.ප්‍ර. සිතෙන් පමණක් සිතා ගත් දෙය.

කල්පිතය

(පාරිභා.) නා.ප්‍ර. හේතූන් අනුව සිතා ගන්නා ලද්ද හෝ තීරණය කර ගන්නා ලද්ද; නියමයක් නොවූ (අලුත්) අදහස හෝ මතය; උපකල්පනය (=hypothesis).

කල්බඳ

නා. කල්‍ය වූ සිරුරක් ඇත්තී; ස්ත්‍රිය; කාන්තාව; ළඳ; සොඳුරිය.

කල්මාෂ

වි. ලප ඇති; තිත් සහිත; කැළැල් ඇති; කිලුටු; කිලුටු වූ.

කල්යල්

1. නා.ප්‍ර. නියම කාලය හා අකාලය; සුදුසු කාලය හා නුසුදුසු කාලය.
2. නා.ප්‍ර. ප්‍රධාන ශස්‍යවාර; අප්‍රධාන ශස්‍යවාරය; යල සහ මහ කන්නය.

කල්ල

1. නා. ඉඳිකඩ; කඩුල්ල.
2. නා. කාන්තාව; ස්ත්‍රිය.

කල්ලි

1. නා.ප්‍ර. පැරණි ජාතික ළමා ක්‍රීඩාවක්; වළ කල්ලි ගැසීම.
2. නා.ප්‍ර. කණ්ඩායම; රංචුව.

කල්ලු දේශය

(කථා.) නා. මාලදිවයින.

කල්ලෝල

නා.ප්‍ර. රළ; තරංගය.

කල්වියො

වි. ප්‍රියාවගෙන් වෙන් වූ; කාන්තාවගෙන් වියෝ වූ.

කල්හාර

නා. හෙළ මානෙල්; හෙල්මැලි.

කල්‍ය

1. වි. යහපත්; නීරෝගී.
2. වි. දක්ෂ; නිපුණ; සමර්ථ.
1. නා.ප්‍ර. යහපත් භාවය; වාසනාවන්තකම; සෞභාග්‍යය; නීරෝගීතාව; සනීපය.
2. නා.ප්‍ර. දක්ෂතාව; නිපුණත්වය.

කල්‍යාණ

1. වි. ප්‍රිය; මනාප.
2. වි. යහපත්; ගුණවත්; දැහැමි; උතුම්.
1. නා.ප්‍ර. යහපත්බව; දැහැමිබව.
2. නා.ප්‍ර. රූපශ්‍රීය; රූපසම්පත්තිය.

කල්‍යාණ මිත්‍රයා

නා. යහපත් මිතුරා; හිතවැඩ කැමති මිතුරා; ඉෂ්ට මිත්‍රයා.

කල්‍යාණධර්ම

1. නා.ප්‍ර. පාණාතිපාතාදි පාපවලින් වෙන් වූ උතුම් වූ ගුණධර්ම.
2. නා.ප්‍ර. පුණ්‍ය ක්‍රියා; යහපත් කටයුතු.

කලා

1. නා.ප්‍ර. කොටස; භාගය.
2. නා.ප්‍ර. චන්ද්‍රයාගෙන් දහයෙන් පංගුව.
3. නා.ප්‍ර. කාල මාන ඒකකයක්; කාෂ්ඨා තිහක කාලය.
4. නා.ප්‍ර. අංශකයකින් හැටෙන් කොටස.
5. නා.ප්‍ර. මනුෂ්‍ය ශරීරය සෑදී ඇති සප්තධාතු හා පටල.
6. නා.ප්‍ර. ශිල්ප ශාස්ත්‍ර; භාෂා ශාස්ත්‍ර; පැරණි පොතපතෙහි සඳහන් වන වාද්‍ය, ගීත, නෘත්‍ය ආදි සූසැට ශිල්ප.
7. නා.ප්‍ර. චන්ද්‍රයාගේ ගමන අනු ව මනුෂ්‍ය ශරීරයෙහි ඒ ඒ ස්ථානයෙහි ඇති වෙතැයි සලකනු ලබන ශක්ති විශේෂයක්; මෙය අමෘත කලා, විෂකලා වශයෙන් දෙවැදෑරුම් වේ.
8. (සංගී.) නා.ප්‍ර. දස වැදෑරුම් වූ තාලප්‍රාණ අතරින් එකක්.
9. (පාරිභා.) නා.ප්‍ර. සයිනාකාර ව වෙනස් වන දෙයක වෙනස් වන ප්‍රමාණය (=phase).
10. නා.ප්‍ර. කත; කාන්තාව.

කලා පිලාව

නා. කලහ පීඩාව; අවුල; වියවුල; කලබලය.

කලා පූරණ

නා. චන්ද්‍රයා කලාවලින් පිරීම; චන්ද්‍රයා කලාවලින් පරිපූර්ණ වීම.

කලාකාරයා

නා. සංගීත නැටුම් චිත්‍ර ශිල්ප ආදි කලාවන්හි නියුක්ත වූ තැනැත්තා; කලාකරුවා.

කලාකිරිඤ්ඤය

නා. මිට මොලවා අතින් පහරදීමේ දී ඇඟිලි පුරුක් ආවරණය වන සේ අතේ දමා ගන්නා ලෝමුවා හෝ අංමුවා ආයුධයක්; කස්කිරිඤ්ඤය.

කලාත

[කල + අත]
1. නා. කලවිටෙහි අග; කමතෙහි වට අයින; ගොයම් කොළේ අයින.
2. නා. අයින; අද්දර; කෙළවර.

කලාතුර

නා. ඉක්මී ගිය දිග කාලය; කාලාන්තරය.

කලාතුරකින්

ක්‍රි.වි. ඉඳහිට; අතරින් පතර.