සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 476

කිඹුල් කඳුළු හෙළනවා

(කථා.) ක්‍රි. බොරුවට අඬනවා; ව්‍යාජ ශෝකය ප්‍රකාශ කරනවා.

කිඹුල් තල්ල

1. නා. ලෑලි වද්දන විට යොදන මූට්ටු විශේෂයක්; කප්පිලි මූට්ටුව.
2. නා. (රථයක) බෝඹුලීය.

කිඹුල්ගහණ

නා.ප්‍ර. දැඩි සේ අල්වා ගැනීම; කුම්භීල ග්‍රහණය.

කිය

1. නා.ප්‍ර. ක්‍රමයෙන් හීන වීම; ගෙවීම; ක්ෂයවීම.
2. නා.ප්‍ර. මිල දී බඩු ගැනීම; ක්‍රය.
3. නා.ප්‍ර. ගොනුන්ගේ පිටෙහි කර ළඟ උස් ව පිහිටි මස්පිඬු; මොල්ලිය.

කියටි

[කිය + අටි]
වි. කියනු කැමති; පවසනු කැමති.
නා.ප්‍ර. කිය යුත්ත; පැවසිය යුතු දෙය.

කියත් අල්ලුව

නා. කියතේ දත් පීරි ගා සකස් කිරීම සඳහා එය තද වන සේ තබා ගැනීමට භාවිත කරන උපකරණය; කියත් දඬු අඬුව.

කියද

නා.ප්‍ර. ගවයාගේ මොල්ලිය; කියාගැටය.

කියමන

1. නා. කියන දෙය; කීම; කථනය; ප්‍රකාශනය.
2. නා. අවවාදය; උපදේශය; උපදේශ වාක්‍යය.
3. නා. පණිවුඩය.
4. (පාරිභා.) නා. ප්‍රකාශය; විනිශ්චයකාරයකුගේ ප්‍රකාශය; සිද්ධාන්තය.

කියඹු

1. නා.ප්‍ර. ස්ත්‍රීන් ගේ නළලතට හෝ කොපුල්තලයට වැටෙන සේ සෑදූ කෙස්රොද; අලකාවලිය.
2. නා.ප්‍ර. කේශ කලාපය; වරලස.

කියවිකිය

නා.ප්‍ර. බඩු මිලදී ගැනීම හා විකිණීම.

කියුබ්

(පාරිභා.) නා.ප්‍ර. ලී, ලෝහ, ගල් ආදියෙහි පරිමාව මනින මිම්මක්; ඝන අඩි සියයක ප්‍රමාණය.

කියුබික් අඩිය

නා. වස්තූන්ගේ පරිමාව මනින මිම්මක්; අඩියක් බැගින් දිග, පළල හා උස ඇති හරියේ අල්ලන ප්‍රමාණය; ඝන අඩිය.

කියුරිය

(පාරිභා.) නා. විකිරණශීලී ද්‍රව්‍යයක සක්‍රියතාව මනින මිම්මක්.

කියුරියම්

(පාරිභා.) නා.ප්‍ර. අතිශය විකිරණශීලී ලෝහමය ත්‍රිසංයුජ මූලද්‍රව්‍යයක්.

කියුරේටර්

1. (පාරිභා.) නා.ප්‍ර. බාල වයස්කාරයන් උන්මන්තකයන් ආදීන් ගේ දේපළ සම්බන්ධයෙන් ක්‍රියා කිරීම පිණිස නීතියෙන් පත් කෙරෙන බලකාරයා; නීතිමය බලකාරයා.
2. (පාරිභා.) නා.ප්‍ර. කෞතුකාගාර ආදියෙහි භාරකරු හෝ ආරක්ෂකයා හඳුන්වන නාමය; අවේක්ෂක.

කියුලීය

නා. බිලියඩ් ක්‍රීඩාවේ දී බෝලය තල්ලු කිරීම සඳහා යොදා ගන්නා දිග හීන් ලීය.

කිරණ

1. නා.ප්‍ර. කිරි සයුර; ක්ෂීර සාගරය.
2. නා.ප්‍ර. රශ්මිය; ආලෝකය; කාන්තිය.

කිරණ කේන්ද්‍රය

(පාරිභා.) නා. කාචයක් තුළින් ගමන් කරන රශ්මි සමූහය එකතු වන ස්ථානය හෙවත් නාභිය.

කිරණ පටය

නා. චිත්‍රය හෝ ඡායාරූපය වැදෙන පටලය.

කිරණ පේටිකාව

නා. ආලෝක ධාරවන්/ කිරණ පරාවර්තනය වූ විට හැසිරෙන අන්දම පෙන්වන උපකරණය; රශ්මි පෙට්ටිය (=ray box).

කිරණාකාර

නා.ප්‍ර. සූර්යයා.

කිරණෝදය

නා. අරුණ නැඟීමෙන් පසු සූර්ය බිම්බය පෙනීමට පෙර සූර්ය රශ්මිය විහිදීම; හිරු
එළිය පතිතවීම.

කිරඹ

1. නා. කිරි සහ ජලය; කිරි මුසු දිය.
2. නා. කිරි මුහුද.

කිරල මූඩිය

නා. කිරල මුලෙන් තැනූ මූඩිය; කිරල පොරොප්පය.