සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 477

කිරි

1. නා.ප්‍ර. ක්ෂීරපායි සතුන්ගේ තනවලට එරෙන සුදුපාට ද්‍රව්‍යය; ක්ෂීරය.
2. නා.ප්‍ර. මුදවන ලද එළකිරි හෝ මීකිරි; දීකිරි.
3. නා.ප්‍ර. ඇතැම් ශාකවල කඳ, පොතු, නටු, ගෙඩි, කොළ ආදිය තුළ පවතින සුදුපාට යුෂය.
4. නා.ප්‍ර. පොල් ගෙඩිවල මදයෙන් මිරිකා ගන්නා සුදුපාට ද්‍රව.
5. නා.ප්‍ර. ඇතා; හස්තියා.
වි. කිරිපාට; සුදු; ශ්වේත.

කිරි අරවනවා

(කථා.) ක්‍රි. කෑම කන වයස පැමිණි විට ළමයකු මව්කිරි බීමෙන් වළක්වනවා.

කිරි එරෙනවා

ක්‍රි. මවකගේ තනයට කිරි උනනවා; කිරි ඇති වෙනවා.

කිරි කපනවා

ක්‍රි. කිරි ගැනීම පිණිස රබර් ගසේ පොත්ත එක්තරා ආකාරයකට කපනවා.

කිරි තෙල්

(පාරිභා.) නා.ප්‍ර. කිරි උණු කිරීමෙන් පසු උඩින් මිදෙන පටලය; කිරි යොදය; ගිතෙල්.

කිරි දරුවා

නා. කිරිබොන වයසේ ළදරුවා; අතදරුවා; බිලිඳා.

කිරි පෙරහන

(පාරිභා.) නා. කිරි පෙරාගන්නා උපකරණය.

කිරි බබළන

වි. කිරි මෙන් ඉතා සුදු; අතිධවල.

කිරි වදිනවා

ක්‍රි. පීදුණු ධාන්‍ය ඇට සෑදීමට අවශ්‍ය කිරි වැනි යුෂය ඇටය තුළට වැදී මදය සෑදෙනවා.

කිරි වරනවා

ක්‍රි. ළදරුවන් හා ක්ෂිරපායී සතුන්ගේ පැටවුන් තරමක් වැඩුණු පසු මවට කිරි එරීම නවතිනවා.

කිරිඅප්පා

නා. පියාගේ හෝ මවගේ පියා; ආතා; කිරි ආතා; සීයා; මුත්තා.

කිරිඅම්මා

1. නා. මවගේ හෝ පියාගේ මව; ආච්චි අම්මා; අත්තම්මා; ආත්තා.
2. නා. මව නැති නොහොත් මවගෙන් පෝෂණය අල්ප අවස්ථාවල දී බිළිඳකුට කිරි දීම සඳහා කැඳවා ගන්නා ස්ත්‍රිය; කිරිමව.
3. නා. දේවතා දුවකගේ නාමය.

කිරිකඩ හේලය

නා. විවාහයක දී මනමාලයා විසින් මනමාලියගේ මවට තෑගි පිණිස දෙනු ලබන රෙදිකඩ.

කිරිකැටි

වි. ඉතා මොළකැටි; ළඳ බොළඳ; ළපටි.

කිරිකෑමුත්තා

නා. හත්මුතු පරම්පරාවේ අන්තිමයා; කිරිකිත්තාගේ පියා.

කිරිකිත්තා

නා. හත්මුතු පරම්පරාවේ සය වැන්නා.

කිරිගඬු

නා.ප්‍ර. (මිනිස් සිරුරේ ඉකිළි කිහිළි වැළමිටි ආදි තැන්හි ඇති) ග්‍රන්ථි ඉදිමීම, කුද්දටිය.

කිරිගරුඬ

නා.ප්‍ර. ස්ඵටිකරූපී ස්වාභාවික කැල්සියම් කාබනේට් විශේෂයක් (=marble).

කිරිගස

නා. කිරි ඇති ගස; කඳේ පොත්ත තුවාල වූ සැණින් කිරි වෑස්සෙන ගස; ක්ෂීර වෘක්ෂය.

කිරිගොටුව

නා. විශේෂයෙන් පොල්කිරි පෙරීම සඳහා භාවිත කෙරෙන බට පතුරු ආදියෙන් සාදා ගත් කෝණාකාර උපකරණයක්.

කිරිච්චිය

1. (කථා.) නා. දෙපිට කැපෙන උල්පිහි වෙසෙසක්; උල්පිහිය.
2. (කථා.) නා. බෙහෙත් ආදිය විදින බටයක් වැනි උපකරණය; වස්තිය; සිරින්ජය.

කිරිදත්

නා.ප්‍ර. ළදරු වයසේ දී එන දත්; ළදරු දත්.

කිරිදිය

1. නා. කිරි; ක්ෂීරය.
2. නා. පොල් තෙල් සිඳ පෙරා ගත් පසු ඉතිරිවන දියරය; කිරිජ්ජ.

කිරිඳු

1. නා.ප්‍ර. ඇත්රජා; හස්තිරාජයා; ඇතා.
2. නා.ප්‍ර. මහමුහුද; මහා සාගරය.