සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 478

කිරිපට්ටය

(කථා.) නා. රබර් ගසේ බාහිර පොත්තට යටින් පිහිටා ඇති ක්ෂීර සෛලවලින් යුත් පටකය.

කිරිපට්ටිය

නා. කිරි පිණිස ඇති කරන ගව සමූහය; එවැනි කිරි හරක් තබාගන්නා ස්ථානය.

කිරිපණුවා

නා. මිනිසාගේ ගුද මාර්ගයේ සිටින අඟල් බාගයක් පමණ දිග පරපෝෂිත සුදු වට පණුවෙක්.

කිරිපද්ද

1. නා. කිරි බඳුන.
2. නා. කිරි පතක ප්‍රමාණය.

කිරිපල්ල

1. නා. සිවුපා සතුන්ගේ ගාත් දෙක අතර පෙදෙස; මිනිසුන්ගේ රහසඟ අවට පෙදෙස.
2. නා. යමෙකුගේ ජීවිතයේ ළදරු අවධිය.

කිරිපා

1. නා.ප්‍ර. කඟවේණා.
2. නා.ප්‍ර. සෙමෙර මුවා.

කිරිපිඩු

නා.ප්‍ර. කිරිබත්; කිරි ආහාර.

කිරිමව

නා. කිරි දෙන මව.

කිරිමැටි

නා.ප්‍ර. සුදුපාට මැටි වර්ගයක්.

කිරිමැලියම

නා. බිලිඳුන්ගේ දිවේ සහ තොල්වල බැඳෙන සුදුපාට මැලියම් හෙවත් කාරම්.

කිරිමුත්තා

නා.ප්‍ර. මුත්තාගේ පියා; මීමුත්තා.

කිරිමුරය

(පාරිභා.) නා. කිරි එරෙන කාල පරිච්ඡේදය (=lactation period).

කිරිමුහුද

නා. මහාමේරු පර්වතයට පෙරදිගින් ඇතැයි පැවසෙන ක්ෂීර සාගරය.

කිරිය

1. නා.ප්‍ර. කිරීම; කරන දෙය; ක්‍රියාව.
2. (ව්‍යාක.) නා.ප්‍ර. කිරීමක්, සිදුවීමක් හෝ විඳීමක් ප්‍රකාශ වන පදය; ක්‍රියාපදය.
3. නා.ප්‍ර. කුඹුරු හා ධාන්‍ය මැනීම සඳහා භාවිත කළ මිම්මක්; අමුණු සතරක ප්‍රමාණය.

කිරියපෙරැළි

නා.ප්‍ර. (ව්‍යාක.) යෙදිය යුතු ක්‍රියාව වෙනුවට වෙනත් ක්‍රියාවක් යෙදීම.

කිරිවලා

නා.ප්‍ර. කිරිපාට වලාකුළ; සුදු වලාකුළ.

කිරිවහණ

නා.ප්‍ර. කිරිපාට ගල් විශේෂයක්; තිරුවාණ ගල්.

කිරිසප්පයා

(කථා.) නා. කිරි බොන දරුවා.

කිරිසයුර

නා. සුදුපැහැති මුහුද; කිරි සයුර.

කිරිසල

නා. කිරිගල; කිරිගරුඬ (ගල).

කිරිසිඳු

නා.ප්‍ර. කිරිමුහුද.

කිරිසිඳු දුව

නා. සිරිකත; ශ්‍රීකාන්තාව.

කිරිසිඳුරු

නා.ප්‍ර. ඇතුන්ගේ හිසෙහි ගල්වනු ලබන රතුපාට චූර්ණ විශේෂයක්; හස්ති සින්දුර.

කිරිහස

නා. සුදුපාට හංසයා.