සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 491

කුමුකුළු

නා.ප්‍ර. කැකුළු; පොහොට්ටුව.
වි. විහිදුණු; පිපුණු.

කුමුටු වළ

නා. භූතලය මතුපිට ඇති පැළුමක් කල්යෑමේදී පොළොවෙහි යටට විහිදී ගොස් තැනෙන ඉතා පළල් වූ විවරය; ගිලා බැස්ම.

කුමුටුවනවා

ක්‍රි. නිමග්න කරවනවා; ගිල්වනවා.

කුමුද

1. නා.ප්‍ර. රාත්‍රී කාලයෙහි සඳ කැලුමින් පිපෙතැයි සැලකෙන කුඩා ජලජ පුෂ්ප විශේෂයක්; හෙළුපුල්.
2. නා.ප්‍ර. රත්නෙළුම.
3. නා.ප්‍ර. ඉතා විශාල සංඛ්‍යාවක නාමය.
4. නා.ප්‍ර. කපුරු.

කුමුදබන්ධු

1. නා.ප්‍ර. චන්ද්‍රයා.
2. නා.ප්‍ර. කපුරු.

කුමුදිනවා

ක්‍රි. කිමිදෙනවා; ගිලෙනවා; නිමග්න වෙනවා.

කුමුදිනිය

නා. කුමුදු විල.

කුමුදුවනවා

ක්‍රි. මුව තුළට වතුර දමා කලත්තා කට සෝදනවා.

කුමේර

නා.ප්‍ර. වහලක (විශේෂයෙන් වහල දෙකක් එක් වන තැන) මුදුන් උළු එකිනෙක සවි වන සේ හුනු බදාමෙන් බඳින බැම්ම.

කුඹ

1. නා. කළගෙඩිය; ඝටය; කුම්භය.
2. නා. කුම්භ රාශිය.
3. නා. අමුණු දහයක ප්‍රමාණය.
4. නා. ඇතාගේ නළල මුදුනෙහි දෙපස ඇති නෙරුම් දෙක; කුම්භස්ථානය.
5. නා. ටැඹ, නැව්, ඔරු ආදි යාත්‍රාවල රුවල් නැංවීමට යොදා ඇති කණුව; කුඹ ගස.

කුඹල

නා. (ගසක) කුහරය; ගස් බෙනය; (බට ආදියෙහි) සිදුර.

කුඹල් ගොයම

(කථා.) නා. කමතේ දමා මඬවා අවසන් කිරීමට ආසන්න වූ ගොයම.

කුඹල් පෙරහර

නා. මහනුවර ඇසළ උලෙළේ මුල් පෙරහර.

කුඹල්සක

නා. වළං සෑදීමට උපයෝගී කර ගන්නා චක්‍රය; සකපෝරුව.

කුඹල්හල

නා. කුඹල්කරුවාගේ කම්හල, මැටි කර්මාන්තය කරන ශාලාව.

කුඹලා

1. නා. මැටි බඳුන් තනන්නා; වළං සාදන්නා; කුඹල්කරුවා; කුම්භකාරයා.
2. නා. බිත්තර දැමීම සඳහා මැටියෙන් ගෙයක් සාදන කෘමි විශේෂයක්.

කුඹහ

නා. ලියදිවලට ඇළ වේලි ආදියෙන් ජලය ගැනීම හා පිට කිරීම පිණිස කඳන් ආදිය යොදා ගන්නා කුහරය; සොරොව්ව.

කුඹු

1. නා.ප්‍ර. කළය; ඝටය; කුම්භය.
2. නා.ප්‍ර. හස්ති කුම්භය; ඇත් කුඹ.
3. නා.ප්‍ර. රාශි චක්‍රයේ එකොළොස්වන කුම්භ රාශිය.
4. නා.ප්‍ර. ඇතා; හස්තියා.
5. නා.ප්‍ර. නැවෙහි රුවල් බඳින කණුව.
6. නා.ප්‍ර. නැව පදවන රිට; සුක්කානම.
7. නා.ප්‍ර. කුහුඹුවා.

කුඹුර

නා. වී ගොවිතැන් සඳහා නියර බැඳ සකස් කොට ගන්නා මඩබිම් කොටස.

කුඹුල

(කථා.) නා. බෙනය; කුහරය; බිලය.

කුඹුස්සනවා

(කථා.) ක්‍රි. කලතනවා; කලඹනවා; කලච්චි කරනවා.

කුයිනලනවා

(කථා.) ක්‍රි. කෑ ගසනවා; හඬ දෙනවා (විශේෂයෙන් කැලෑවේ මුවන්ගේ හඬට මෙසේ කියනු ලැබේ).

කුර අදිනවා

(කථා.) ක්‍රි. (මීගොනුන් ආදි සතුන්ගේ පාවලින්) පොළොව හාරනවා හෝ බිම පහුරු ගානවා; කුරදනවා.

කුර ගානවා

1. ක්‍රි. හෙමින් හෙමින් යනවා
2. ක්‍රි. නිතර නිතර යනවා.

කුරකෙටුම් දමනවා

(කථා.) ක්‍රි. ගසක කඳෙහි පොත්ත හෝ ඵලය සැස ඉවත් කිරීමට පෙර වෑයෙන් කඳ වටා පළින් පළ කෙටුම් ලකුණු දමනවා.