සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 502

කූණිතය

නා. අක්ෂිගෝලයේ තන්තුමය වැස්මේ පූර්ව කොටස.

කූනම

නා. රජු ඇමති ආදි උසස් කුලවතුන් ගමන් යෑම සඳහා යොදාගනු ලැබූ දෝලා හෝ පල්ලැක්කි විශේෂයක්.

කූනිත්ත

(කථා.) නා. ඉතා කුඩා ප්‍රමාණය; ඩිංග; ටික; ස්වල්පය.

කූප පාෂාණය

නා. සිදුරු සහිත ගල.

කූප මණ්ඩුකයා

නා. (ළිං මැඬියා යනු වාච්‍යාර්ථයි) මඳ දැනුමක් ඇත්තා.

කූප යෂ්ටිය

නා. නැව්තොටෙහි දී නැව නවත්වා බැඳ තබන කණුව.

කූප ශාස්ත්‍රය

නා. ශිල්ප විධි අනු ව ළිං කැණීම උගන්වන ශාස්ත්‍රය; කූප කලාව.

කූපකය

1. නා. නැවෙහි කුඹ ගස.
2. නා. ඉන්න.
3. නා. ළිඳ.

කූපදන්තී

(පාරිභා.) වි. දත් පිහිටා ඇති ඇටයෙහි ම කෙවෙණියක් තුළ දත් පිහිටි (=thecodont).

කූපනය

1. නා. බලපත්‍ර විශේෂයක්; සලාක පත්‍රය.
2. නා. (පුවත්පත් ආදියෙහි පළවන) හරස්පද ප්‍රහේලිකාදියේ හෝ ලිපිනය සඳහන් කොටස.

කූපය

1. නා. වළ; ළිඳ.
2. නා. සමෙහි ඇති සිදුර; ලොම් ගස් හෝ කෙස් ගස් තිබෙන සිදුර.
3. නා. කෙවෙණිය.
4. නා. ශාක ව්‍යුහයක ඇති සිදුර හෙවත් අනෙක් ශෛලයන් හා සම්බන්ධ වන පරිදි සෛල බිත්තිය තුනී වූ තැන.
5. (පාරිභා.) නා. (සත්ත්ව ශරීරයෙහි කොටසක් වූ) කුඩා වළ; ක්ෂීරපායී ගණයට අයත් සතුන් ගේ රෝමකූප මෙන් කුඩා කුහරයක් බඳු වූ කොටස දෘතිකාව; ස්‍යුනිකාව (=follice).
6. නා. වායු පීඩනයේ අවනතිය.
7. නා. නැවෙහි කුඹ ගස.

කූපර් ග්‍රන්ථිය

නා. ක්ෂීරපායි ගණයට අයත් සතුන්ගේ මෞත්‍ර ලිංගික පද්ධතිය දෙපැත්තෙහි තිබෙන ග්‍රන්ථි යුවලක්.

කූපාලය

[කූප + ආලය]
නා. ළිඳ හා සම්බන්ධ ගෘහය.

කූපිකා

නා.ප්‍ර. කුඩා බෝතලය; කුප්පිය.

කූබරය

1. නා. රෝදයේ බොස් ගෙඩිය; චක්‍රනාභිය.
2. නා. රථයක ඒරියකඳ.

කූමය

1. (පාරිභා.) නා. කඳු පැත්තක ඇති කුඩා නිම්න භූමිය.
2. නා. වෙරළින් උඩට දිවෙන කුඩා නිම්න භූමිය.

කූඹිත්ත

නා. ඉතා ම ස්වල්ප වූ ප්‍රමාණය; ස්වල්පය; ඇබිත්ත.

කූර

1. නා. ලීයෙන් හෝ ලෝහාදියකින් සැදූ සිහින් තුඩක් ඇති උල; උලක් වැනි දෙය; ශලාකාව.
2. නා. කොළවල ඇති නාරටිය; නැට්ට; ඉරටය.
3. නා. කාන්තාවන්ගේ බැඳි කොණ්ඩයෙහි පලඳන ආභරණයක්; කොණ්ඩ කූර.
4. නා. සිහින් දිගටි කෑල්ල.
5. නා. ඉත්තෑකූර.
6. නා. අංකුරය.

කූරටය

1. නා. උල් කළ කෝටුව; ඉරටුව.
2. නා. යකඩ කූර.

කූරපයිය

1. නා. (බුලත්විටට අවශ්‍ය දේ බහා තබා ගැනීම සඳහා රෙදිවලින් තනාගත්) කුඩා පසුම්බිය; බුලත් පයිය.
2. නා. (බඩුබාහිරාදිය බහා උරෙහි ලාගෙන යෑම සඳහා රෙදි කැන්වස් ආදියෙන් තනාගත්) ඔලොගුව; පසුම්බිය.

කූරල්

(කථා.) වි. කුණු වූ; නරක් වූ.

කූර්පර

1. නා.ප්‍ර. වැළමිට; වැළමිටි සන්ධිය.
2. නා.ප්‍ර. වැළමිට ළඟ සන්ධියෙහි වූ මර්මය.

කූර්ම

1. නා.ප්‍ර. ඉදිබුවා; ඉබ්බා.
2. නා.ප්‍ර. ඉදිබුවකු වශයෙන් සලකන ලද පෘථිවි ගෝලය.

කූර්මපෘෂ්ඨ භූමිය

නා. ඉදිබු පිටක් මෙන් මැදින් උස් වූ බිම් පෙදෙස; හාත්පසින් පහත් ව මැදින් උස්
ව ඇති බිම් පෙදෙස.