සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 53
අත්තිවාරම
1. නා. ගොඩනැගිල්ලක් තැනීමේ දී විශේෂයෙන් බිත්ති ඉදි කිරීම සඳහා බිම හාරා දමන සවිමත් පදනම.
2. නා. මූලාධාරය.
අත්තුක්කංසනය
නා. තමා උසස් කොට සිතීම.
අත්ථ
1. නා.ප්ර. අභිවෘද්ධිය; යහපත.
2. නා.ප්ර. ඵලය,
3. නා.ප්ර. අධිකරණය.
4. නා.ප්ර. තේරුම ; අදහස.
අත්ථඞ්ගතය
නා. (ඉර) බැස යෑම; අස්තඞ්ගත වීම.
අත්ථන්තරය
නා. වෙනස් අරුත; අනිත් අර්ථය.
අත්ථරිත
වි. අතුරන ලද; එළන ලද.
අත්ථාවහ
අත්ථි සුඛය
නා. (වස්තු ආදිය) ඇත යන අවබෝධය නිසා උපදනා සුවය; වස්තු තිබීම නිසා උපදනා සැපයි.
අත්ථුද්ධාරය
නා. අරුත් මතු කිරීම; ශබ්දයක ගැබ්වුණු විවිධාර්ථ පෙන්වා දී අභිප්රේත අර්ථය ඉස්මතු කිරීම.
අත්දඬු බෝය
නා. (කමත්) පසින් ගොයම් මඩින විට අල්ලා ගෙන සිටීම සඳහා හරහට බඳින ලීය.
අත්දඬුවාව
නා. අත් දණ්ඩක් තරම් මහත කඳ ඇති ගසින් යුත් කැලෑව; ලන්දටත් මූකළානටත් අතර වැඩීම් අවස්ථාවේ පිහිටි කැලෑව.
අත්දැකීම
නා. යමක හෝ කිසියම් ක්රියාවක පිළිවෙළ, ප්රතිඵල ආදිය ප්රත්යක්ෂ වශයෙන් දැකීම; ප්රත්යක්ෂයෙන් දැනීම, පළපුරුද්ද
අත්දෙණිය
නා. අතපය සේදීම සඳහා භාවිත වන ලී හෝ ගල් භාජනය.
අත්පතල
නා. ආහාර පිසීමට ගන්නා කට පළල් මැටි බඳුන් විශේෂය; ලොකු ඇතිලිය; අප්පල්ල.
අත්පත්
වි. අතට පැමිණි; අත් වූ; ලැබුණු; හස්ත ප්රාප්ත.
අත්පත්රිකා
නා.ප්ර. අන්යයන්ගේ දැන ගැනීම සඳහා යම් පණිවුඩයක් හෝ දැන්වීමක් සඳහන් කොට පොදුවේ බෙදා හරින මුද්රිත පත්රිකා විශේෂයක්.
අත්පද
නා.ප්ර. (ව්යාක.) යම් ක්රියාවක මුඛ්ය ඵලය කර්තෘ නිමිති කොට ඇති බව හඳුන්වන පදය ; වාච්ය පදය; ආත්මනේ පදය; අත්තනෝපදය.
අත්පස
1. නා. අතේ දුර; අත සමීපය; හස්තපාශය.
2. නා. යමකුගේ සමීපය වශයෙන් සලකනු ලබන එක්රියන් හමාරේ සිට දොළොස් රියන දක්වා දුර ප්රමාණය.
3. නා. මල පහ කරන ස්ථානය; වැසිකිළිය; වච්චකුටිය.
4. නා. මල පහ කිරීම; සිරුරුකිස; ශරීර කෘත්යය.
5. නා. මල; අශූචි; අමේධ්යය.
අත්පස්ගෙය
නා. වැසිකිළිය; වච්චකුටිය.
අත්පසුර
1. නා. අතේ ඇඟිලි හා නිය
2. නා. යමක් අල්ලා ගැනීමට හැකි වන පරිදි විදහා ගත් ඇඟිලි හා නියවලින් යුත් අත
3. නා. පතෝල, කරවිල ආදි වැල්වලට යම් ආධාරකයක් වෙත රැඳී සිටීමටත් ඉහළට නැගීමටත් උපකාර වන දඟරය; ප්රතානය.
අත්පා මෙහෙවර
නා. අත් පා මෙහෙයවා වැඩිහිටියනට කරන සේවය; සම්බාහනය; වතාවත.
අත්පිට
නා.ප්ර. අල්ලේ පිට පැත්ත; පිටි අල්ල.
1. වි. එවේලෙහිම ගෙවන ; කාසි නෝට්ටු ආදි මුදලින් ගෙවන.
2. වි. නිසැකවම; ප්රත්යක්ෂ වශයෙන්.
අත්පිටපත
නා. (පොත්පත්, ලියකියවිලි, චිත්රපට හා නාට්ය ආදියේ) අතින් ලියූ පිටපත හෝ පරිගණක ගත කළ පිටපත; අමුද්රිත පිටපත.
අත්පිඩි
නා.ප්ර. හඬ නගින සේ එකට ගැසීම සඳහා එකට එකතු කළ දෙඅත්ල; හැකුළූ අතුල්තල.
අත්පිඩි ගසනවා
ක්රි. අත්ලෙන් අත්ල ගසනවා; අත්පොළසන් දෙනවා.