සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 54

අත්පියොව

නා. තමාගේ උපක්‍රමය; ස්වකීය ප්‍රයෝගය.

අත්පිස්නාව

නා. අත පිහින රෙදි කැබැල්ල; අතපිස්නාකඩ; ලේන්සුව.

අත්පුට

නා.ප්‍ර. ගොටුවක් මෙන් එකතු කළ දේ අත්ල; බොකු කළ දෝත; හස්තපුටය.

අත්පුටුව

1. නා. අත් තබා ගැනීම සඳහා වූ ඇඳි සහිත පුටුව
2. නා. කෙනෙකු ඔසවා ගෙන යෑම සඳහා දෙදෙනෙකු දෙපස සිට චතුරස්‍රයක් බැඳ ගැනීමෙන් සාදා ගත් අසුන.
3. (කථා.) නා. කුඹුරේ මඩ සමතලා කරන පෝරුවේ සවි කොට ඇති ඇන්ද; පෝරුවේ ඉහ,

අත්පුරුද්ද

(කථා.) නා. යම් කිසිවක් නිතර කිරීමෙන් ලැබෙන පරිචය; පළපුරුද්ද; කෘතහස්ත භාවය.

අත්පොඩිය

නා. කුඩා අත; සිඟිති අත.

අත්පොළසන්

නා.ප්‍ර. අත්පිඩි ගසන හඬ; අත්පිඩි ගැසීම.

අත්බන්දි

නා.ප්‍ර.. නැට්ටුවන් බාහුවේ උඩ කොටසෙහි පලඳින වළලු විශේෂයක්; පන්තේරු ක්‍රීඩකයන් අතේ බඳින ලොකු පිත්තල වළලු; අතෙහි පලඳින බන්දි වළලු.

අත්බඳ

නා. බිරිඳ; අඹුව ; භාර්යාව.

අත්බඹ

(කථා.) නා.ප්‍ර. දෙපසට දෑත දිගු කළ විට තිබෙන දුර ප්‍රමාණය; බඹයක ප්‍රමාණය; අඩි හයක දුර.

අත්බර

1. නා. විවාහ කර ගත් ස්ත්‍රිය ; භාර්යාව.
2. නා. අත් දොළස ( කඳ කුමරු සම්බන්ධයෙන් යෙදේ).
3. නා. අතින් ගෙන යා හැකි බර ප්‍රමාණය.

අත්බව

1. නා.ප්‍ර. සසර සැරිසරන සත්ත්වයෙකු යම් තැනක ලබන උපත; ආත්මභාවය; භවය.
2. නා.ප්‍ර. ස්වරූපය; ශරීරය; දේහය.

අත්බා වසනවා

ක්‍රි. අතවැසිව සිටිනවා; යටත්ව වසනවා; ගැතිව සිටිනවා.

අත්බෝලය

(කථා. ගොවි.) නා. නගුල් මිටෙහි අතට හසු වන රවුම් කොන.

අත්භූත

වි. පුදුම; විස්මයජනක.

අත්ම

1. නා.ප්‍ර. ආත්මය; ආත්මභාවය; ශරීරය
2. නා.ප්‍ර. ස්වරූපය.

අත්මග

1. නා. කුඹුරක් අද්දරින් දිවෙන කුඩා පාර.
2. නා. කුඹුරක් අද්දර පිහිටි බඩවැටිය.

අත්මඝාතකයා

නා. සිය පණ නසා ගන්නා තැනැත්තා; තමා විසින් ම ජීවිතය හානි කර ගන්නා පුද්ගලයා.

අත්මත

නා. මත් ගාන හෙවත් කලතන ලී කැබැල්ල; පතු ගාන උපකරණය; මන්ථය.

අත්මද්ද

(කථා.) නා. (හරකුන් ඇල්ලීමට) අතින් ගසන මන්ද; අත්රෑන.

අත්මල්ල

නා. තනි අතින් එල්ලා ගෙන යා හැකි මල්ල; එක් අතින් ගෙන යා හැකි පැස.

අත්මාංචුව

නා. අත්වලට දමන මාංචුව; අත්විලංගුව.

අත්මානම

1. නා. බෝල, ගිගිරි වළලු ආදිය මාරුවෙන් මාරුවට උඩ දමා ඇල්ලීම; අත්මානම් ක්‍රීඩාව.
2. නා. දෙදෙනෙකු මුහුණට මුහුණ ලා සිට ඔවුනොවුන් අත්මාරු ගසමින් බෙර වැයීම.