සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 55

අත්මාරු කපනවා

(කථා.) ක්‍රි. (දස්කම් පෑම් වශයෙන්) දෑකැත්ත දෑතට මාරු කරමින් ගොයම් කපනවා.

අත්මාරු ගසනවා

(ක්‍රි.) (සමත්කම් පෑමට) අත් දෙක මාරු කරමින් බෙර, දවුල්, උඩැක්කි ආදිය වයනවා.

අත්මාරු පදය

(කථා) නා. අත් දෙක මාරු කරමින් ගසන රබන් පදය; දෑත මාරු කරමින් ගසන බෙර පදය.

අත්මැසිම

නා. රෝදය අතින් කරකවා ක්‍රියාත්මක කරන මැහුම් යන්ත්‍රය.

අත්මිට

1. නා. අතෙහි ඇඟිලි හැකිලූ කල සෑදෙන ගුටිය; මුෂ්ටිය.
2. නා. අතින් අල්ලා ගැනීම සඳහා කියත් ආදියට සවි කරන ලද ලී කැබැල්ල.

අත්මිටි හරඹය

නා. මිට මොළවා පහර දීමෙන් කරන සටන ; මුෂ්ටි ප්‍රහාර දීමේ මල්ලව පොරය.

අත්මිණි

නා.ප්‍ර. බලිතොවිල්වල දී ඇදුරා සෙත්කවි කියමින් විටින් විට හඬවන මිණිගෙඩිය; අතෙහි භාවිත කුඩා මිණිගෙඩිය.

අත්මිදීම

නා. (වරදකින්, කරදරාදියකින්) නිදහස් වීම; ගැලවීම; විමුක්තිය.

අත්යන්ත්‍රය

1. නා. අතින් ක්‍රියා කරවිය හැකි යන්ත්‍රය.
2. (පාරිභා.) නා. අතින් ක්‍රියා කරවමින් රෙදි වියන යන්ත්‍රය (=handloom).

අත්රස

1. නා.ප්‍ර. අතින් පිළියෙල කරන්නාගේ (විශේෂයෙන් භාර්යාවගේ) ශූර බවින් ආහාරයේ ඇති වන රසය; පිසීමේ දක්ෂකමින් භෝජනයේ ඇති වන විශේෂ ප්‍රණීත බව.
2. නා.ප්‍ර. වචනාර්ථයෙන් උද්දීපනය වන රසවත් බව; අර්ථ රසය.

අත්ල

නා. අතේ ඇඟිලිත් මැණික් කටුවත් අතර කොටසෙහි ඇතුළු පැත්ත; අල්ල; අතුල.

අත්ලස

1. නා. වැරදි වැඩකට කෙනෙකු පොලඹවා ගැනීම සඳහා දෙන වැරදි දීමනාව; කිසියම් කාර්යයක් කරදීම වෙනුවෙන් ලබන නීති විරෝධී දීමනාව; අල්ලස; පගාව.
2. නා. යමක් මිලට ගැනීමට හෝ කාර්යයක් ඉටු කිරීමට පොරොන්දු වී කලින් ලබා ගන්නා මුදල; අත්තිකාරම.

අත්ලීය

1. (කථා.) නා. ගොයම් පෑගීමේ දී අල්ලා ගැනීම සඳහා කමතේ හරහට බඳින ලීය; අත්දණ්ඩ.
2. නා. ඔරුවේ පැත්තෙන් බඳින කුඩා කුඹ ගස.

අත්ලෙන්සය

නා. කුඩා දේ ලොකු කර පෙන්වන අතේ ගෙන යා හැකි කාචය; අත් කාචය.

අත්වට

නා. රස කැවිලි වර්ගයක්; අග්ගළා; අත්සුණු.

අත්වතු

නා.බහු. ගණන් ලේඛන; සංඛ්‍යා ලේඛන.

අත්වරද

නා. හිතා මතා නොකළ වරද; බැරිවීමකින් සිදුවුණු වරද.

අත්වරල්

නා.බහු. මාලුවාගේ ඉදිරිපස දෙපැත්තේ තිබෙන වරල් දෙක.

අත්වසම

(කථා.) නා. අත්අඩංගුව; අත යටත.

අත්වාරාව

(කථා.) නා. (කිසියම් වැඩක් හෝ කාර්යයක්) කෙනෙකුගෙන් අත්හැරී තවත් කෙනෙකු අතට යෑම; යමකු කරගෙන ගිය වැඩක් තව දුරටත් ඔහුට නොලැබී යාම.

අත්වාරුව

(කථා.) නා. අතේ වීරිය; අතේ සවිය; අතෙහි උපකාරය.

අත්වාසිය

1. නා. යමක් සාර්ථක ලෙස කිරීමට කෙනෙකුට පළපුරුද්දෙන් ලැබූ දක්ෂකම නිසා ඇතිවන ගුණය.
2. (කථා.) නා. දොරක් ඇරීමේ දී හා වැසීමේ දී අතින් අල්ලා ගැනීම සඳහා දොරට සවි කරන ලී කැබැල්ල.

අත්වැට

1. නා. අතෙහි සෑදූ ගුළිය; අතින් තැනු වටිකාව.
2. නා. අතේ ගෙන යන පහන; අත්පන්දම.

අත්වැඩ

1. නා.ප්‍ර. තමාගේ ශුභ සිද්ධිය; ස්වකීය අභිවෘද්ධිය; ආත්මාර්ථය; ස්වාර්ථය.
2. නා.ප්‍ර. අත මෙහෙයවා කරන වැඩ; මැහුම් ගෙතුම්, ලණු ඇඹරීම ආදී ශිල්ප; අත්කම්; හස්ත කර්මාන්තය.