සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 56

අත්වැඩ සාදනවා

ක්‍රි. තමාගේ ශුභ සිද්ධිය සලසා ගන්නවා; ස්වාර්ථය සිද්ධ කරනවා.

අත්වැඩකරුවා

නා. වැඩට උපකාර කරන්නා; අත්උදවුකාරයා.

අත්වැදවිය

නා. අලුත දරුවකු වැදූ ස්ත්‍රිය; මෑතක දී දරුවකු ප්‍රසූත කළ ගැහැනිය.

අත්වැනුම

1. නා. අර්ථ කථනය; අර්ථ වර්ණනාව.
2. නා. තමා ගැන වර්ණනා කිරීම; ආත්ම වර්ණනාව.

අත්වැල

1. නා. දෙදෙනකු හෝ කිහිප දෙනෙකු අතින් අත අල්ලා ගැනීමෙන් සෑදෙන වැල.
2. නා. උපකාරය; පිහිට.
3. නා. එකට බැඳී පැවැත්ම; සංයෝගය; සම්බන්ධය.
4. නා. පියගැට, ඒදඬු, අතුරු ආදියෙහි ගමන් කිරීමේදී අල්ලා ගැනීමට ඇති ආධාරකය.
5. නා. එල්ලී සිටීමට ආධාර වන දෙය.
6. නා. යමකුගේ ගායනයට උපකාර වශයෙන් තවත් අය ගයන පාදය හෝ පාද කොටස.

අත්වැල් ගායනය

නා. යම් ගායනයකට උපකාර වශයෙන් වෙනත් කීප දෙනෙකු කරන ගායනය.

අත්වැස්ම

නා. අතට දමන ආවරණය; අත්මේස්

අත්වැසියා

නා. යටත්වාසී පුද්ගලයා; අතවැසියා.

අත්විකාර

නා.ප්‍ර. භය වීමෙන්, කෝපයෙන් හෝ විකට ක්‍රියා වශයෙන් අතින් කරන විපරීත ක්‍රියා; හස්ත විකාර.

අත්සතර

නා.ප්‍ර. අර්ථ ශාස්ත්‍රය; ධනය පිළිබඳව උගන්වන ශාස්ත්‍රය; භෞතික සම්පත් පරිහරණය පිළිබඳ ශාස්ත්‍රය.

අත්සන

1. නා. ලියවිලි ආදියක් තමාගේ බවට සහතිකයක් වශයෙන් සිය අතින් එහි පහත ලියන තමන්ගේ නම් හෝ තමන්ගේ නම වෙනුවට යොදන සලකුණ.
2. නා. අතින් කරන සංඥාව; අත වැනීමෙන් කරන ලකුණ.

අත්සම

නා.ප්‍ර. රැක බලා ගන්නා තැනැත්තා; ආරක්ෂකයා; භාරකාරයා.

අත්සර

1. නා. (අනුන්ගේ) හිත වැඩ පිණිස හැසිරීම; (අනුන්ගේ) අභිවෘද්ධිය සඳහා ක්‍රියා කිරීම; අර්ථචර්යාව.
2. නා. සාරවත් දෙය; සාර වස්තුව; අර්ථසාරය.
3. නා. අතෙහි ගෙන යෑමට සුරක්ෂිත ව තබා ගැනීමට සුදුසු ඉතා වටිනා දෙය; හස්තසාරය.

අත්සුඟ

නා. කුඩා අත; අත් සිඟිත්ත.

අත්සුනු

නා.ප්‍ර. බැද කුඩු කර ගත් යව හෝ සහල්; බැදපු හාල්පිටි; විලඳ සුනු.

අත්හකුර

නා. ගස්හි කොළවලට විද රූප සටහන් මැවීම් සඳහා අතේ භාවිත කළ හැකි ගල් කැටය.

අත්හදා බැලීම

නා. යමක ක්‍රියාකාරීත්වය පිරික්සා බැලීම; පරීක්ෂණය; පර්යේෂණය.

අත්හැන්ද

1. නා. (පක්ෂීන්ගේ) අත්තටුව; පියාපත.
2. නා. පුටුවේ අත තබා ගන්නා පත්ත; පුටුපත්ත; අත් ඇන්ද.

අත්හැඳි පුටුව

(කථා.) නා. අත තබා ගැනීම පිණිස දෙපස ඇඳි ඇති පුටුව.

අත්හිටවූ සිර දඬුවම්

නා. වරද කරුවකුට අධිකරණයෙන් නියම කරන ලද හිර දඬුවම තාවකාලිකව ක්‍රියාවේ නොයොදවා තැබීම (=suspended sentences).

අත්හිටීම

නා. (යමක්) අතරමඟ නැවතීම; ක්‍රියාකාරිත්වය නතර වීම; ඇනහිටීම.

අත්හිත

(කථා.) නා.ප්‍ර. අදහස් උදහස්; ගතිගුණ.

අත්හිස

1. නා. උරහිස; උරය; දසරුව.
2. නා. අතෙහි මුදුන් කොටස (=head of arm).

අත්හුරු

වි. අතට හුරු වූ; හුරු පුරුද්ද ඇති; පළපුරුදු; දක්ෂ.