සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 57

අත්‍යණුක

[අති + අණුක]
(පාරිභා.) වි. ඉතා සියුම්; අතිසූක්ෂ්ම; අතිශය ක්ෂුද්‍ර (=infinitesimal).

අත්‍යන්ත

[අති + අන්ත]
1. වි. කෙළවරක් නැති; නිමක් නැති; සීමාව ඉක්මවා සිටි.
2. වි. අප්‍රමාණ; ඉතා අධික; අතිශය.
3. වි. සම්පූර්ණ; පරිපූර්ණ ; පරම.

අත්‍යන්ත භාවය

නා. (තර්ක.) යමක් කාලත්‍රයෙහි ම සම්පූර්ණයෙන් නොපවත්නා බව.

අත්‍යන්ත සංයෝගය

1. නා. අතරක් නැතිව යෙදීම; නිරන්තර සම්ප්‍රයෝගය.
2. නා. (ව්‍යාක.) කාලය හා මාර්ගය පිළිබඳ නිරන්තර සම්බන්ධය ප්‍රකාශ කරන විභක්ති අර්ථය.

අත්‍යන්තයෙන්

ක්‍රි.වි. අධික වශයෙන්; අතිශයින්; සම්පූර්ණයෙන්.

අත්‍යන්තර

වි. ඉතා ඈත් වූ; අතිශය දුර ඇති.

අත්‍යන්තෝපකාර

[අත්‍යන්ත + උපකාර]
වි. බොහෝ සේ උපකාර වන, අධික වශයෙන් ආධාර වන; අතිශයින් පිහිට වන.

අත්‍යන්තෝපශම

[අත්‍යන්ත + උපශම]
නා.ප්‍ර. සම්පූර්ණයෙන් සන්සිඳීම.

අත්‍යනුරාගය

[අති + අනුරාගය]
වි. ඉතා අධික රාගය; දැඩි කැමැත්ත.

අත්‍යර්ථයෙන්

ක්‍රි.වි. අධික වශයෙන්; අතිශයින්; මුළුමනින්.

අත්‍යලඞ්කාර

[අති + අලඞ්කාර]
වි. අතිශය අලංකාර; අති ශෝභන; ඉතා සුන්දර.

අත්‍යල්ප

[අති + අල්ප]
1. වි. ඉතා මඳ; ප්‍රමාණයෙන් ඉතා සුළු.
2. (පාරිභා.) වි. ඉතා කුඩා; අති සූක්ෂ්ම; අත්‍යණුක (=infinitesimal).

අත්‍යල්පමාත්‍ර

වි. ඉතා කුඩා ප්‍රමාණ වූ; අතිශය ලඝු ප්‍රමාණ වූ.

අත්‍යවශ්‍ය

[අති + අවශ්‍ය]
වි. ඉතා අවශ්‍ය; අතිශයින් උවමනා.

අත්‍යවශ්‍ය සේවා

නා.බහු. සමාජයේ දියුණුව හා එදිනෙදා ජීවන කටයුතු සඳහා ඉතාමත්ම අවශ්‍ය වූ ආහාර බෙදා හැරීම, වෛද්‍ය කටයුතු, ගමනාගමනය ආදි වූ සේවා.

අත්‍යශන

නා.ප්‍ර. පමණට වඩා කෑම; පමණට වඩා ආහාර අනුභවය.

අත්‍යාදර

[අති + ආදර]
වි. ඉතා ආදරවත්; අතිශය හරසරින් යුත්.

අත්‍යායත

[අති + ආයත]
වි. ඉතා දික් වූ; බෙහෝ දිගැති; අතිදීර්ඝ.

අත්‍යායික

වි. වහා කළ යුතු; ඉක්මන් හදිසි.

අත්‍යාරම්භ

[අති + ආරම්භ]
නා.ප්‍ර. අතිශය උත්සාහයෙන් ආරම්භ කළ වීර්යය.

අත්‍යාසන්න

[අති + ආසන්න]
වි. බොහෝ ළං වූ; ඉතා කිට්ටු.

අත්‍යුක්තිය

නා. මහත් කොට කීම; අධික වර්ණනාව; අතිශයෝක්තිය.

අත්‍යුග්‍ර

[අති + උග්‍ර]
වි. ඉතා උග්‍ර; ඉතා වැඩි; අතිශයින් බලවත්.

අත්‍යුත්කර්ෂ

[අති + උත්කර්ෂ]
වි. ඉතා අධික ; ඉමහත්.