සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 582

ගැටවටුව

නා. භික්ෂූන්ගේ සිවුරෙහි කොනේ ගැටය අමුණන පුඩුව.

ගැටවරයා

නා. කොලු වයසටත් තරුණ වයසටත් අතරෙහි වූ තැනැත්තා; නාම්බා; ඉළන්දාරියා.

ගැටවරුජාව

නා. ප්‍රසූතිකාවන්ගේ ගර්භාශයෙහි ඇති වන වේදනාව.

ගැටවා

වි. කෛරාටික : කපටි.
1. නා. ගැටය.
2. නා. ගැටයා; තරුණයා.

ගැටවුම

(පාරිභා.) නා. සරනේරුව; අසව්ව (=hinge).

ගැටහූ

1. නා.ප්‍ර. ගොතන ලද නූල්.
2. නා.ප්‍ර. රන්මුවා ඉදිරිපත් සටහන් ඇති ගෙල පලඳනාවක්.

ගැටිත්ත

1. (පාරිභා.) නා. පැළෑටියක ඕනෑ ම තැනක ඇති වන කුඩා වටකුරු ගැටය.
2. (පාරිභා.) නා. ශරීරයේ ඇටයක හෝ කිසියම් ස්ථානයක ඇති පිටට නෙරාගිය වටකුරු කුඩා ගැටය.

ගැටිපරය

(පාරිභා.) නා. මුහුදු වෙරළ දිගේ හුණුගල්වලින් සෑදුණු වැටියක් වශයෙන් පිහිටා ඇති පරය (=fringing reef).

ගැටිවැල

1. (කථා.) නා. වේවැල් බට ආදියෙන් වියන වට්ටි ආදියේ ගැට්ට ශක්තිමත් කිරීමට ගැට්ට වටා යොදන වැල්පොට.
2. (කථා.) නා. බෙර දවුල් ආදියේ හම් තට්ටුව හිර කරන වළල්ල.

ගැටිස්සී

නා.ප්‍ර. ගැටවර ස්ත්‍රී; ළමිස්සී; තරුණී.

ගැටෙනවා

1. ක්‍රි. එකිනෙක වදිනවා; හැප්පෙනවා.
2. ක්‍රි. විරුද්ධ ව කථා කරනවා; වාද විවාද වෙනවා.

ගැඩවිලි ගියරය

(පාරිභා.) නා. බඳ වටේට විශේෂ හැඩයකට කැපුණු දත් ඇති රෝදයක් සහ කරකැවෙන සර්පිල දණ්ඩක් සහිත ගියරය; සර්පිල ගියරය (=worm gear).

ගැඩොලිනියම්

(පාරිභා.) නා.ප්‍ර. විරල පාංශු කාණ්ඩයට අයත් ලෝහමය මූල ද්‍රව්‍යයක් (=gadolinium)

ගැණි

1. නා.ප්‍ර. ගණන් කරන තැනැත්තා; ගණකයා.
2. නා.ප්‍ර. ප්‍රසිද්ධියේ කරන ප්‍රකාශය.

ගැණිසැඟිණිය

1. නා. සමූහයක් එක් ව විසීම, ඝෝෂාකාරී එක්රැස්වීම.
2. නා. යුක්තිය හෝ ආධාර ඉල්ලමින් කරන පැමිණිල්ල හෝ ඇවිටිල්ල.

ගැත්තර

නා.ප්‍ර. සිංහල කුලයක්.
1. (කථා.) වි. ගැත්තර කුලයට අයත්; දාස.
2. වි. කෑදර; බඩජාරි.

ගැති

1. වි. යටත්; අවනත.
2. වි. සතු; සන්තක.

ගැතිපත් වෙනවා

ක්‍රි. දාස භාවයට පත්වෙනවා; යටහත් වෙනවා.

ගැතිමිඩිය

නා. දාසිය; වහල් ස්ත්‍රිය.

ගැතියා

නා. යටත් ව සිටින පුද්ගලයා.

ගැතිලි

නා.ප්‍ර. වණ වූ තුවාලයක වැඳී තිබෙන සැරව.

ගැදැල්ල

1. (කථා.) නා. කොළරොඩු.
2. (කථා.) නා. කොළරොඩු එකතු කරන කරුව.

ගැදිය

1. නා. ගද්‍යය.
2. නා. ගද්‍ය රචනාව.

ගැනිමීඩි

නා.ප්‍ර. බ්‍රහස්පති ග්‍රහයා වටා ගමන් කරන ඉතා ම ලොකු චන්ද්‍රිකාව.