සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 596

ගිව්බරණ

නා.ප්‍ර. බෙල්ලේ පලඳින ආභරණ; ග්‍රීවාභරණ.

ගිවිස ගන්නවා

1. ක්‍රි. පොරොන්දුවක් ඇති කර ගන්නවා; පක්ෂ අතර සම්මුතියෙන් එකඟ බව ඇති කර ගන්නවා.
2. ක්‍රි. ප්‍රතිඥා දෙනවා; බාර ගන්නවා.

ගිවිසිනවා

1. ක්‍රි. යමක් කිරීමට පොරොන්දු වෙනවා; එකඟ වෙනවා; ප්‍රතිඥා දෙනවා.
2. ක්‍රි. කිසියම් කියමනක් ඉල්ලීමක් හෝ මතයක් පිළිගන්නවා.
3. ක්‍රි. සොයා බලනවා; සෝදිසි කරනවා.

ගිවිසුම

1. නා. දෙපක්ෂයක් ඇති කර ගන්නා ලිඛිත පොරොනදුව; ප්‍රතිඥාව.
2. (පාරිභා.) නා. කොන්ත්‍රාත්තුව; දෙපක්ෂයක් අතර ඇති කර ගන්නා එකඟතාව.
3. (ක්‍රිස්ති.) නා. අලුත් සහ පරණ තෙස්තමේන්තුව.

ගිවිසුම් ඔප්පුව

(පාරිභා.) නා. ගිවිසුමක කොන්දේසි ඇතුළත් නීත්‍යනුකූල ලියවිල්ල.

ගිවිසුම් නීතිය

නා. නොයෙක් ආකාර ගිවිසුම් හෙවත් පොරොන්දු පිළිබඳ වලංගු නීතිය.

ගිවිසුම් ලේඛනය

නා. ගිවිසුමට අදාළ නිදහස් කිරීමේ හෝ සීමා කිරීමේ කොන්දේසි සහිත ලිඛිත පත්‍රය.

ගිහි බන්ධනය

නා. ගිහි ජීවිතයට බැඳී සිටීම; ගෘහවාසය; විවාහ ජීවිතය.

ගිහි වාසය

නා. ගිහි ව විසීම; ගිහිගෙයි වාසය.

ගිහි විනය

1. නා. ගිහියකු විසින් පිළිපැදිය යුතු ධර්ම කොට්ඨාසය; ගිහියන්ට නියමිත ශික්ෂණ මාර්ගය.
2. නා. බෞද්ධ සූත්‍රදේශනාවක්; සිඟාලෝවාද සූත්‍රය.

ගිහියා

නා. ගිහි ජීවිතයක් ගත කරන්නා; ගෘහස්ථයා.

ගිහිවත

නා. ගිහියකු පිළිපැදිය යුතු පිළිවෙළ; ගිහිගෙයි පැවතුම් පිළිවෙළ.

ගී

1. නා.ප්‍ර. නිශ්චිත මාත්‍රා ගණනකට අනුව බැඳි පැදි විරිත් විශේෂය; ගීය.
2. නා.ප්‍ර. ගිතෙල්.
3. නා.ප්‍ර. ගමන; ගමන් කිරීම.
4. නා.ප්‍ර. මරණින් පසු උපත.
5. නා.ප්‍ර. ආකාරය; ස්වභාවය; ගතිය.

ගී නාලය

(පාරිභා.) නා. පක්ෂීන්ගේ නාද උපදවන ඉන්ද්‍රියය; පක්ෂීන්ගේ ශබ්දේන්ද්‍රිය.

ගී මඩුව

නා. දේවස්තෝත්‍ර ගායන සහිත ශාන්තිකර්මය.

ගීතය

1. නා. ගායනා කළ හැකි පද්‍ය නිබන්ධය; ගීතිකාව; සින්දුව.
2. නා. ගායනය; ගී කීම.

ගීතාවලිය

නා. ගී සමූහය; ගී මාලාව.

ගීතිකාව

1. නා. ගීතය; ගායනය; ගීය.
2. නා. යාච්ඤා වශයෙන් ගයන ගීය; සමූහ වශයෙන් ගයන ගීය.

ගීනළුව

නා. ගීත නාටකය; ගීතමය නාට්‍යය.

ගීසරය

1. (පාරිභා.) නා. වරින්වර උණු ජලය හා වාෂ්ප වේගයෙන් පිට කරන උල්පත.
2. (පාරිභා.) නා. කෑම නෑම ආදිය සඳහා අවශ්‍ය වේලාවට ක්ෂණික ව දිය උණුකර දෙන උපකරණයක් (= geyser).

ගුගුම් හඬ

නා. ඝෝෂා ශබ්දය.

ගුගුරනවා

ක්‍රි. මහත් හඬ නංවනවා; ගර්ජනා කරනවා.

ගුගුරුව

(පාරිභා.) නා. ආශ්වාස කිරීමේ දී යම්කිසි අවහිරයක් නිසා ඇතිවන ශබ්දය.

ගුච්ඡය

1. නා. (මල් ආදිය) මිටිය; කලාපය; පොකුර.
2. නා. (පාරිභා.) ප්‍රාග් වෘත්තයේ දෛහ පිණ්ඩවල ගුච්ඡිකාවන් එක්කාසු වීමෙන් සෑදුණු තනි කේශනාලිකා ගුළිය. (= glomus).