සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 605

ගෙඩිය

1. නා. ගස් වැල්වල හටගන්නා ඵලය.
2. නා. අතින් පයින් හෝ කෝටු ආදියකින් ගහන පහර; ගුටි බැටය.
3. නා. වේලාව දැන්වීම සඳහා නාද කරවනු පිණිස විහාර ආරාමාදියේ එල්ලා ඇති ලොහොමුවා/ලී මුවා උපකරණය; වේලාව හඟවන ටකය; ඝණ්ටාව.
4. නා. ගඩොල; ගඩොල් කැටය.
5. නා. ලිවීම සඳහා සූදානම් කළ හිස් පුස්කොළ මිටිය; පොත්ගෙඩිය.
6. නා. ජලය ආදිය ගෙන යන භාජනයක්; කෙණ්ඩිය; ඩබරාව.
7. නා. කළය; ඝටය.
8. නා. ශරීරයෙහි හමට යටින් සැරව සහිත ව ඉදිමී වේදනාව ගෙන දෙන ගඩුවක්.

ගෙත්තම

1. නා. රෙදි පිළි මැසීම; රෙදි කපා ඇඳුම් මැසීම; රෙදිපිළිවල මොස්තර සැරසිලි දැමීම.
2. නා. නූල්, පන්, වේවැල් ආදිය යොදා ගැනීමෙන් කරනු ලබන විසිතුරු නිර්මාණ.

ගෙතැන

නා. ගෙදර; ගෘහය.

ගෙතුම

1. නා. ගෙතීම; ගෙත්තම් කිරීම.
2. නා. ගෙතු දෙය; ගෙත්තම.

ගෙදර

1. නා.ප්‍ර. එම නිවහන; මිදුල ඇතුළු උපාංග සහිත වූ වාසස්ථානය; ගෘහය; ස්වකීයයන් සහිත ව වාසය කරන ගොඩනැගිල්ල.
2. නා.ප්‍ර. එම කලත්‍රයා; ස්වාමියා හෝ බිරිඳ.

ගෙදිගු විල

නා. ගෙ උයන්හි (අලංකාරය සඳහා තැනූ) දිගටි පොකුණ; ගෙ උයනෙහි සැදූ දිගටි තඩාගය.

ගෙදෙවි

නා.ප්‍ර. ගෙදරට අරක් ගත් දෙවියා; ගෘහ දෙවියා.

ගෙන එනවා

1. ක්‍රි. යමක් රැගෙන පැමිණෙනවා.
2. ක්‍රි. (යමකු) කැඳවා ගෙන එනවා.

ගෙනයාටි

[ගෙන + යා + අටි]
නා.ප්‍ර. ගෙන යාමට කැමති තැනැත්තා; රැගෙන යනු කැමැත්තා.

ගෙනහැර දක්වනවා

ක්‍රි. ඉදිරිපත් කරනවා; ඉදිරියට පමුණුවා පෙන්වනවා; ගෙනහැර පානවා.

ගෙන්ගෙට යනවා

ක්‍රි. ගෙයින් ගෙයට යනවා; ගෙයක් ගෙයක් පාසා ඇවිදිනවා.

ගෙන්දගම්

නා.ප්‍ර. ජලයේ දිය නොවන කහ පැහැති අලෝහ මූල ද්‍රව්‍යයක්; ගන්ධක සල්ෆර්.

ගෙපත

නා.ප්‍ර. ගෙපැල; කුඩා ගෙය.

ගෙපති

නා.ප්‍ර. ගෘහපතියා; ගෙදර ප්‍රධානයා.

ගෙපළ

නා. ගෙයක් තැනීම සඳහා සකස් කර ගන්නා බිම; ගෙබිම.

ගෙපැල

නා. පදිංචිය සඳහා අස්ථාවර ලෙස තනා ගත් කුඩා ගෙය.

ගෙපිළ

1. (කථා.) නා. ඇතැම් ගෙයක ඉස්තෝප්පුවේ වාඩිවීම පිණිස බංකුවක් මෙන් උස්කොට මැටි ආදියෙන් තැනූ දික් ආසනය.
2. නා. ගෙයක ඉස්තෝප්පුව.

ගෙබරාල

නා. ඇතුළු ගබ පාලනය කරන්නා; රජවාසල ගබඩාවේ කටයුතු භාර නිලධරයා.

ගෙබිම

1. නා. ගෙයක් තැනීම සඳහා සකස් කර ගන්නා බිම; ගෙබිම.
2. නා. නිවස ඇතුළත බිම.

ගෙබිම් බලනවා

ක්‍රි. නිවසක් තැනීමට තෝරා ගත් භූමියේ යෝග්‍යතාව ශාස්ත්‍රානුකූල ව පරීක්ෂා කරනවා.

ගෙමඟුල

නා. අලුතින් තැනූ නිවසකට පිවිසීම නිමිති කොට පැවැත්වෙන උත්සවය; ගෙවැදීමේ මඟුල.

ගෙමැඩියා

නා. ගෙවල වාසස්ථානය කොට ඇති මැඩියා.

ගෙමිණ

නා. පහන; ප්‍රදීපය.

ගෙමිතුරු

නා.ප්‍ර. පහන; ප්‍රදීපය.