සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 604

ගුළිකාව

නා. කුඩා ගුළිය; (විශේෂයෙන්) බේත් වැනි ද්‍රව්‍ය ගුළිය; වටිකාව.

ගුළිය

නා. (යම්කිසි දෙයකින්) ගෝළාකාර ලෙස තැනූ පිඬ; වටකුරු දෙය; වටිකාව.

ගුළු

1. වි. සැඟවුණු; වැසුණු; දුරවබෝධ.
2. වි. ගැලවී ගිය; ගිලිහීගිය; ගිලිහුණු.

ගුළුඅරුත

නා.ප්‍ර. සැඟවුණු අර්ථය; ගූඪාර්ථය.

ගූඪ

1. වි. සැඟවුණු; රහසිගත; ගුප්ත (අදහස් ඇති).
2. වි. තේරුම් ගැනීමට අපහසු; දුරවබෝධ; ගැටමුසු.
3. (පාරිභා.) වි. රහසින් උගන්වනු ලබන (=esoteric).

ගූඪ වාදය

නා. රහස් ඉගැන්වීම; ගුප්ත අර්ථ ඇති ධර්මය.

ගූථ කූපය

නා. අශුචි වළ; වැසිකිළිය.

ගූථය

නා. සත්ත්වයින් ශරීරයෙන් පහ කරන මල; අශුචි.

ගෘහ කර්මය

(පාරිභා.) නා. ගෘහිණියක විසින් තම ගෙදර දී කරනු ලබන දරුවන් ඇති දැඩි කිරීම, ඉවුම් පිහුම් ආදි ගෙදර දොරේ කටයුත. (=house craft).

ගෘහ කර්මාන්තය

1. නා. ගෙවල් ඉදි කිරීමේ කර්මාන්තය; ගෙයක් තැනීමේ දී කරන කාර්ය.
2. නා. ආශ්‍රයෙහි කරනු ලබන විවිධ කර්මාන්ත.

ගෘහ නිර්මාණ විද්‍යාව

නා. ගොඩනැගිලි හා ගෙවල් ඉදිකිරීමේ ශාස්ත්‍රය; ගෘහ නිර්මාණ ශිල්පය (=architecture).

ගෘහනිර්මාණය

නා. ගොඩනැගිලි හා ගෙවල් තැනීම/ ඉදිකිරීම; ගෘහ නිර්මාණ ශිල්පය.

ගෘහපතියා

1. නා. ගෙදර ස්වාමියා; ගෙදර අධිපතියා.
2. නා. වෛශ්‍ය/ගොවි කුලයට අයත්වන්නා.

ගෘහපාලක

(පාරිභා.) නා.ප්‍ර. (ශිෂ්‍ය නිවාසයක්, සාත්තු නිවාසයක් වැනි) නිවාසයක පාලකයා.

ගෘහමූලිකයා

නා. ගෘහයට ප්‍රධානයා; පවුලක අධිපතියා.

ගෘහය

1. නා. වාසස්ථානය; ගෙය.
2. නා. කේන්ද්‍ර සටහනෙහි රාශි දොළසින් එකක්.
3. නා. පවුල; කුටුම්භය; භාර්යාව.

ගෘහවාසය

නා. ගෙදර වාසය; ගිහිගෙයි විසීම.

ගෘහස්ථ

වි. ගෙදර පවත්නා; ගෙදර වාසය කරන; ගිහි.

ගෘහ්‍යකර්ම

1. නා.ප්‍ර. ඉවුම්පිහුම් ආදි වූ ගෙදරක පවත්නා කටයුතු; ගෙදර වැඩපළ.
2. නා.ප්‍ර. ගෙදරට සීමා වූ පුද පූජාදිය.

ගෘහාඞ්ගණය

නා. ගෙයි මිදුල; ගෙමිදුල.

ගෘහාශ්‍රිත

1. වි. ගෙය ඇසුරෙහි වෙසෙන; ගෙය ඇසුරෙහි පවතින.
2. වි. ලෞකික ජීවිතය සම්බන්ධ වූ; තෘෂ්ණාව ඇසුරු කළ.

ගෘහීත

වි. ගන්නා ලද; ගත්තා වූ; ග්‍රහණය කරන ලද.

ගෘහෝද්‍යානය

නා. ගෙට අයත් උයන; ගෙය ආසන්නයේ පිහිටි උයන; ගෙවුයන.

ගෙජ්ජි

නා. (හඬ නංවන පරිදි කකුලේ හෝ කරේ එල්ලන) මිණිගෙඩිය; කිංකිණිය; ගිගිරිය.