සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 647

චෝර භාර්යාව

නා. හිමියා උපයන දෙය සිය අභිමතය පරිදි නොසැලකිල්ලෙන් වියදම් කරන බිරිඳ; සොර බිරිඳ.

චෝරු

(කථා.) වි. දියාරු; අධික ව ඉදුණු; බෙරි වූ.
නා.ප්‍ර. බත.

චෝලය

1. නා. රෙද්ද; වස්ත්‍රය.
2. (පාරිභා.) නා. වැස්ම; ආවරණය.
3. (පාරිභා.) නා. වැදැල්ල (=caruncle).

චෝලිය

1. නා. ස්ත්‍රීන් අඳින යට හැට්ටය; බොඩිය.
2. නා. පීඩිත කුලයක් හඳුන්වන නාමය.

චෝළ

1. නා.ප්‍ර. දකුණු ඉන්දියාවේ පැරණි රාජ්‍ය ප්‍රදේශයක නාමය; සොළී රට.
2. නා.ප්‍ර. එනම් ජාතිය.

චෞර කර්මය

නා. සොරකම.

චෞරයා

නා. සොරකම් කරන්නා; සොරා.

චෞරි

නා.ප්‍ර. සෙමර වලිගය; චාමරය.

ඡ

1. නා.ප්‍ර. “ච” වර්ගයේ දෙවන අකුර; මෙය මිශ්‍ර සිංහල හෝඩියේ අඝෝෂාක්ෂරයක් වන අතර මහාප්‍රාණ අක්ෂරයක් ද වේ.
2. නා.ප්‍ර. හය; සය.

ඡකලක

නා.ප්‍ර. එළුවා; අජයා.

ඡට්ඨ

වි. හවැනි; සයවැනි.

ඡටාව

1. නා. දීප්තිය; බැබළීම.
2. නා. සුළිය; සාලාව.
3. නා. සමූහය.
4. නා. කෙළින් ඉර.

ඡඩ්ඩනය

නා. ඉවත දැමීම; බැහැර කිරීම.

ඡණ ක්‍රීඩාව

නා. උත්සව ක්‍රීඩාව; ප්‍රීති උත්සවය; සැණකෙළිය.

ඡත්ත

නා.ප්‍ර. කුඩය; හිරවරණ.

ඡත්තගාහක

නා.ප්‍ර. රජුගේ ඡත්‍රය දරන්නා; රාජකීය ඡත්‍රය භාර ව සිටින නිලධාරියා හෝ එම තනතුර.

ඡත්තපාණි

නා.ප්‍ර. ඡත්‍රයක් අතින් ගත් තැනැත්තා වන මහා බ්‍රහ්මයා.

ඡත්තානිඡත්ත

නා.ප්‍ර. දාගැබක් මත පිහිටි ඡත්‍රය මත පිහිටුවන ලබන ඡත්‍රය.

ඡත්‍ර නංවනවා

ක්‍රි. සේසත් ඔසොවනවා; රජ පදවියට පත් වෙනවා.

ඡත්‍රකර්ම

1. නා.ප්‍ර. කුඩ සේසත් ආදිය සෑදීම.
2. නා.ප්‍ර. සෑයක ඡත්‍රයක් නංවාලීම; සෑය මුදුනෙහි කුඩයක ස්වරූපයෙන් ලාඤ්ඡනයක් සෑදීම.

ඡත්‍රදණ්ඩ

නා.ප්‍ර. කුඩයෙහි හෝ සේසතෙහි මිට.

ඡත්‍රපර්ණ වින්‍යාසය

නා. කුඩයක නන මෙන් කඳ වටේට පත්‍ර පිහිටීමේ පිළිවෙළ.

ඡත්‍රය

1. නා. කුඩය; හිරවරණය.
2. නා. රාජකීය ලාඤ්ඡනයක් ලෙස සලකන ලද සුදු කුඩය; සේසත.
3. නා. චෛත්‍යයක මුදුනේ ඇති කුඩ ආකෘතිය.
4. නා. රාජකීය කොඩිය; රාජ්‍ය ලාඤ්ඡනය සේ සැලකෙන ධ්වජය.
5. නා. පන්හිඳක මුදුන් කොටස; පන්හිඳෙහි හිස.
6. නා. බිම්මල; හත්ත.

ඡත්‍රසලාකා

නා.ප්‍ර. කුඩ රෙද්ද රඳවා ලීමට ආධාර වන ඊට සවි කර ඇති නන.