සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 648

ඡත්‍රාවලිය

[ඡත්‍ර + ආවලිය]
නා. ඡත්‍ර පංතිය; දාගැබක මුදුනෙහි එකක් මත එකක් සිටින සේ නංවන ලද ඡත්‍ර සමූහය.

ඡත්‍රීය මණ්ඩලය

(පාරිභා.) නා. ඡත්‍රයක හැඩය ඇති පුෂ්ප මඬුල්ල එකිනෙකට ළංව කුඩයක් මෙන් වැඩුණු බීජාණු පත්‍ර රැස (=peltate discs).

ඡදන මාර්ගය

නා. වහල සෙවිලි කරන මඟ; පිළිවෙළ.

ඡදනය

1. නා. වැස්ම; ආවරණය.
2. නා. වහල; පියස්ස.
3. නා. කොළය; පත්‍රය.

ඡදනාග්‍රය

[ඡදන + අග්‍රය]
නා. පියසි කෙළවර; වහලෙහි අන්තය; පල අග.

ඡද්දන්ත කුලය

නා. ඇත් කුල දහයෙන් එකක නාමය; ඉතා ම උසස් යැයි සම්මත ඇති කුලය.

ඡද්ම

1. නා.ප්‍ර. කන්‍යාවන්ගේ යෝනි මුඛය වැසී තිබෙන තුනී සිවිය; ප්‍රශස්ත රජ්ජුව; කුමරිච්ඡදය.
2. නා.ප්‍ර. කපටිකම; වඤ්චනය.

ඡන්ද අධිකරණය

(පාරිභා.) නා. මැතිවරණ දූෂණ චෝදනා ආදිය විසඳන උසාවිය (=election court).

ඡන්ද කාමය

නා. කාමවස්තූන් කෙරෙහි ඇතිවන දුර්වල ආශාව.

ඡන්ද කොට්ඨාසය

නා. ඡන්ද දායකයන්ගේ සංඛ්‍යා හා භූමි ප්‍රමාණය අනු ව වෙන් කර ඇති ප්‍රදේශය; මැතිවරණ බල ප්‍රදේශය.

ඡන්ද ගුණ්ඩුව

(කථා.) නා. ඡන්ද විමසීමක දී තමන්ට හෝ තම පක්ෂයට වැඩි ඡන්දය ලබා ගනු පිණිස ඡන්ද අපේක්ෂකයකු හෝ දේශපාලන පක්ෂයක් හෝ යොදන කූට උපක්‍රමය.

ඡන්ද දායකයා

නා. ඡන්දය දෙන්නා; ඡන්ද බලය හිමි පුරවැසියා.

ඡන්ද නිලධාරියා

(පාරිභා.) නා. ඡන්ද විමසීමේ කටයුතු පිළිබඳ ව එක් ප්‍රදේශයක් භාර රාජ්‍ය සේවකයා (=election officer).

ඡන්ද පත්‍රිකාව

නා. රහස් ඡන්දය ලකුණු කරන කොළය.

ඡන්ද පෙට්ටිය

නා. ඡන්ද දායකයන් රහසිගත ව ලකුණු කළ ඡන්ද පත්‍රිකාව බහා ලන පෙට්ටිය.

ඡන්ද පෙත්සම

නා. මහජන ඡන්ද විමසීමකදී සිදු වී ඇති අක්‍රමිකතා දූෂණ ආදිය ගැන සඳහන් කොට ඒ ගැන විභාගයක් පවත්වන ලෙස දන්වා අධිකරණයට ඉදිරිපත් කරන ලේඛනය හෙවත් පෙත්සම.

ඡන්ද බලය

නා. පාර්ලිමේන්තුව, පළාත් ආයතන ආදියට නියෝජිතයන් තේරීමේ දී තම කැමැත්ත දීම සඳහා පුරවැසියකුට හෝ සාමාජිතයකුට ඇති අයිතිය; ඡන්ද අයිතිය.

ඡන්ද රාගය

නා. දැඩි ආශාව; බලවත් කැමැත්ත නිසා ඇති වන ඇල්ම.

ඡන්දකොමසාරිස්

නා.ප්‍ර. මැතිවරණවල දී ඡන්ද විමසීමේ කටයුතු පිළිබඳ වගකීම භාර නිලධරයා; මැතිවරණ කොමසාරිස්.

ඡන්දචාර

නා.ප්‍ර. හිතුමතයේ ඇවිදීම; නිදහසේ ගමන් බිමන් යාම.

ඡන්දය

1. නා. කැමැත්ත; ඕනෑකම; රුචිය; ඇල්ම.
2. නා. සෘද්ධි ලැබීමට ප්‍රධාන වසයෙන් උපකාරවන ධර්ම සතරින් එකක්; ඇල්මෙන් තොර කැමැත්ත.
3. නා. පාර්ලිමේන්තුවට පළාත්පාලන ආයතන ආදියට නියෝජිතයන් තේරීම; මැතිවරණය; නිලවරණය.
4. නා. ස්වායත්ත මතය; කිසියම් අරමුණක් කෙරෙහි රහසේ හෝ එළිපිට දක්වා සිටින මතය.

ඡන්දස

නා. පද්‍යයක යෙදිය යුතු අක්ෂර මාත්‍රා හා ගණ පිළිබඳ සංඛ්‍යා නියමය.

ඡන්දස් ශාස්ත්‍රය

නා. ඡන්දස පිළිබඳ ව ඉගැන්වෙන ශාස්ත්‍රය; පද්‍ය රචනයේ දී අක්ෂර, මාත්‍රා, ගණ, විරිත් ආදිය යොදා ගන්නා අයුරු පිළිබඳව උගන්වන ශාස්ත්‍රය.

ඡන්දාගතිය

නා. (යම් කිසිවකුට ඇති කැමැත්ත නිසා) යුක්තිය ඉක්මවා අගතියට යාම.