සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 646

චේෂ්චිතය

නා. ඉඟිය; ඉඞ්ගිතය.

චේෂ්ටාව

1. නා. අඟ පසඟ සැලීම් ආදි ශාරීරික ක්‍රියාව.
2. නා. කායික උත්සාහය; ප්‍රයත්නය; තැත් කිරීම.

චේෂ්ටාවහ නාඩි

නා.බහු. මොළයේ අදහස පිටතට ගෙන යන නාඩි.

චෛතන්‍යය

1. නා. චේතන ස්වභාවය; චේතනාව; චින්තන භාවය.
2. නා. ඥානය; ආත්මය; ජීවය; ප්‍රාණය.

චෛතසික වීර්යය

නා. සිතින් කරන උත්සාහය; මානසික ප්‍රයත්නය.

චෛත්‍ය ගර්භය

නා. සෑයක අර්ධ සෑයක ගෝලාකාර උදරය හෙවත් ධාතු නිදන් වස්තු ආදිය තැන්පත් කර ඇති මධ්‍ය ප්‍රදේශය; සෑ ගැබ.

චෛත්‍ය මාසය

නා.ප්‍ර. මාසයක නාමය; චන්ද්‍ර මාසය; බක් මස.

චෛත්‍ය වෘක්ෂය

1. නා. පූජනීය ගස.
2. නා. බෝ ගස.

චෛත්‍යය

1. නා. පූජනීය ස්ථානය; ශුද්ධ භූමිය.
2. නා. පිදිය යුතු දෙය; පුජා කටයුත්ත; ශුද්ධ වස්තුවක් ලෙස සලකන ලද රුක, වනය, රුක්ගොන්න හෝ පර්වතය.
3. නා. බුද්ධාදි උතුමන්ගේ ධාතු නිදන් කොට තැනූ ගොඩනැගිල්ල; දාගැබ; ස්තූපය.
4. නා. සොහොන් කොත; සොහොන් ගල.
5. නා. දේවාලය.
7. නා. විශ්‍රාම ශාලාව.

චෛත්‍යස්ථාන

1. නා.ප්‍ර. ගෞරව දැක්විය යුතු තැන; වැඳුම් පිදුම් කළ යුතු තැන; පූජනීය ස්ථානය.
2. නා.ප්‍ර. චෛත්‍යයක් පිහිටි භූමි.
වි. ගෞරව කළ යුතු; වන්දනීය.

චොකලට්

නා.ප්‍ර. කොකෝ ඇට, මේදය, සීනි, කිරි ආදිය මිශ්‍රකොට ක්‍රමානුකූලව අනා ගැනීමෙන් තනා ගන්නා රස කැවිලි වර්ගය.

චොහොරු

1. (කථා.) වි. මඩවුණු; ගොහොරු බවට පත්වූ.
2. වි. බෙරි වුණු; පමණට වඩා තැම්බුණු.

චෝච පානය

නා. ඉදුණු ඇටි කෙහෙල් ගෙඩි මිරිකා සාදාගත් පානය.

චෝඩකය

(පාරිභා.) මැණික් කටුව; හස්තකූර්චය (=carpus).

චෝදක

වි. දොස්නඟන; වරද දක්වන; චෝදනා කරන.

චෝදනය

1. නා. ප්‍රශ්නය; විමසීම; විචාරීම.
2. නා. දොස් පැවරීම; අපවාදය; දෝෂාරෝපණය.

චෝදනා පත්‍රය

(පාරිභා.) නා. ආයතනයක සේවකයකුට විරුද්ධ ව ඉදිරිපත් කරන චෝදනා අඩංගු පත්‍රිකාව (=charge sheet).

චෝදනාව

1. නා. ප්‍රශ්නය විමසීම; විචාරීම.
2. නා. දොස් පැවරීම; අපවාදය; දෝෂාරෝපණය.
3. නා. සරුප් බසින් කරන ඉල්ලීම.
4. නා. නියෝගය; ආගමික නියමය.

චෝද්‍ය

වි. චෝදනා කළ යුතු.
1. නා.ප්‍ර. දොස් නගාලීම; දෝෂාරෝපණය.
2. නා.ප්‍ර. ප්‍රශ්න කළ යුතු හෝ විමසිය යුතු දෙය; චෝදනාව.

චෝද්‍යයා

නා. ප්‍රශ්නයක් නගන්නා; ප්‍රතිවිරුද්ධ මතයක් ප්‍රකාශ කරන්නා.

චෝදිකාව

(පාරිභා.) නා. පැමිණිලිකාරිය; චෝදනාවක් නඟන්නිය; චෝදක ස්ත්‍රිය (=prosecutrix).

චෝපන

නා.ප්‍ර. ක්‍රියාවෙහි යෙදීම; සෙලවීම; චලනය.

චෝපනකාය

නා.ප්‍ර. ශරීරය; සිරුර; කරජකාය.

චෝර

නා.ප්‍ර. හොරා; සොරකමෙහි යෙදෙන්නා.