සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 663

ජරායුව

1. නා. දරුගැබ වසා සිටි සිවිය; වැදෑමස; දලබුව.
2. නා. කුස; ගැබ.

ජරාව

1. නා. වයසට යෑම; මහලුබව; දිරාපත් දෙය.
2. (කථා.) නා. කැත කුණු; කැලිකසළ.
3. (කථා.) නා. අශික්ෂිත ක්‍රියාව; දූෂණය.
4. (කථා.) නා. පගාව.

ජරාවාස

වි. දිරාපත් ව ගිය; ගරා වැටුණු; නටබුන් වූ.
නා.ප්‍ර. දිරාපත් වූ තැන හෝ දෙය; නටබුන්; නෂ්ටාවශේෂ,

ජරාවාස අරවනවා

ක්‍රි. කැඩී බිඳී දිරාපත් තැන් සකස් කරනවා; පිළිසකර කරනවා.

ජරාවිලිපිලි

නා.ප්‍ර. (කය) දිරාපත් වීම දක්වන රැලි වැටීම්, කෙස් පැසීම් ආදිය.

ජල

1. නා.ප්‍ර. දිය; වතුර; පැන්.
2. නා.ප්‍ර. කලල රූප.
3. (ඡන්ද.) නා.ප්‍ර. 'ය' ගණය.
4. නා.ප්‍ර. පුවසල නැකත.
5. නා.ප්‍ර. ගින්න.
6. නා.ප්‍ර. මූත්‍ර; සුළුදිය.
7. නා.ප්‍ර. දැල් කවුළුව.

ජල ආමානය

(පාරිභා.) නා. ජලය හෝ එහි පීඩන ආදිය මනින උපකරණය (=water gauge).

ජල උෂ්ණකය

නා. උණු ජලය මගින් (යමක්) වේලීමේ උපකරණයක්.

ජල කණිකාව

නා. ඉතා සියුම් දිය බින්දුව; පවනින් හෝ යන්ත්‍රාදි උපක්‍රමයකින් විහිදෙන සියුම් දිය පොද.

ජල ක්‍රීඩාව

නා. ජලයෙන් හෝ ජලයෙහි කරන සෙල්ලම්; දිය කෙළිය.

ජල කෘත්‍යය

1. නා. (සිරුර) සේදීම් ආදි ජලයෙන් කරනු ලබන කාරිය; දියකිස.
2. නා. මුත්‍ර පහ කිරීම.

ජල ගැල්ම

නා. ගංගා, ඇළ දොළ උතුරා ජලය ඉවතට ගැලීම; ගොඩබිම යට කරමින් ගලා යන දිය කඳ; ගං වතුර.

ජල චක්‍රය

1. නා. ගංගා, මුහුදු ආදියේ ජලය වාෂ්ප වීමත් වැසි මගින් නැවත පතිත වීමත් යන ජලයේ චක්‍රාකාර පැවැත්ම.
2. නා. පොළොව යට සිට ජලය උඩට අදින (හුළං) රෝදය; ළිංවලින් වතුර ඇද ගන්නා කප්පිය හෝ බොලොක්කය.

ජල ඡිද්‍රය

(පාරිභා.) නා. ශාකවලින් ජලය ද්‍රවාකාරයෙන් බැහැර කරන සියුම් පුටිකාව (=water pore).

ජල තරංගය

1. නා. දියෙහි ඇති වන රැල්ල; දියරළ.
2. නා. දිය පිරවූ කෝප්ප කීපයකට කෝටු දෙකකින් තට්ටු කිරීමෙන් වාදනය කරනු ලබන භාරතීය වාද්‍ය විශේෂයක්.

ජල තාපකය

1. (පාරිභා.) නා. සෙන්ටිග්‍රේඩ් 100° ට අඩු යම් අභිමත උෂ්ණත්වයක් ලබා ගැනීම පිණිස පාලනය කරන ලද උෂ්ණත්වයක පවතින ජල භාජනය (=water heater).
2. නා. උණු වන ජලය ඇති භාජනය (=water bath).

ජල දුර්ගය

නා. ජලය නිසා යෑමට දුෂ්කර මාර්ගය; ඇළ දොළ, ගංගා ආදිය නිසා යෑමට අසීරු ගමන් මග.

ජල නළය

නා. ජල සම්පාදනය සඳහා යෙදූ බටය; දිය ගෙන යන නළය.

ජල නිජ්ඣරය

නා. කඳු මුදුනෙකින් රූරා හැලෙන ජලධාරාව; දිය ඇල්ල.

ජල නිපානය

නා. ජලයෙන් පෝෂණය වීම; දිය උරා ගැනීම.

ජල පරාගණය

නා. ජලජ පැළෑටිවල (ජලය මගින් වන) පරාග සංසර්ගය.

ජල පරිඛාව

නා. (පුරාණයේ ආරක්ෂාව සඳහා කළ) දිය අගල.

ජල පරිමාව

නා. යම් තැනක ඇති ජලය ඒකක වශයෙන් ගැනෙන ප්‍රමාණය.

ජල පරිරෝධක

(පාරිභා.) වි. ජලය වෑස්සීමක් සිදු නොවන පරිදි නිර්මිත; දිය කාන්දු නොවන (=water tight).