සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 753

තියුකරු

නා.ප්‍ර. වන්දි භට්ටයා; ගුණ ගී ගයන්නා.

තියුගී

නා.ප්‍ර. ස්තුති ගීතිකා; තුති ගී.

තියුණු

1. වි. ඉතා සියුම් වූ; තීක්ෂ්ණ වූ; ඉතා මුවහත් වූ.
2. වි. වහා වැටහෙන.
3. වි. තද; දැඩි; චණ්ඩ.
4. වි. තුන් ගුණයක් වූ; තෙගුණ.
1. නා.ප්‍ර. යකඩ.
2. නා.ප්‍ර. උණුසුම; රස්නය.
3. නා.ප්‍ර. අගුණ තුන; අගුණත්‍රය.

තියුණු බෙත්ම

(පාරිභා.) නා. දෙපසට දිය බෙදී යන සේ තියුණු මුදුනින් යුත් කඳුවැටිය (=knife edge divide).

තියුණු ස්වරය

(පාරිභා.) නා. විනිවිද යන හඬ; තීව්‍ර හඬ (=shrill note).

තියුරුපු

නා.ප්‍ර. තීර්ථකයන්ගේ සතුරා; බෝධිසත්වයන් වහන්සේ; බුදුරජාණන් වහන්සේ.

තියුලියම්

(පාරිභා.) නා.ප්‍ර. ලෝහමය මූල ද්‍රව්‍යයක් (=thulium).

තිර

වි. නොවෙනස් ව පවතින; ස්ථාවර.
1. නා.ප්‍ර. ස්ථිරබව.
2. නා.ප්‍ර. බැඳීම; බන්ධනය.
3. නා.ප්‍ර. පොළොව; පෘථිවිය.
4. නා.ප්‍ර. කඩතුරාව; ජවනිකාව.
5. නා.ප්‍ර. කැමරාවක, සිනමා ප්‍රොජෙක්ටරයක ලෙන්සය තුළින් නිකුත් වන ආලෝක කදම්භයේ ප්‍රතිබිම්බය ලබා ගැනීමට උපකාර වන සුදුපැහැති තලය.
6. නා.ප්‍ර. පහන් වැටිය.

තිර නෙරුව

නා. දොර හා ජනෙල් රෙදිවල උඩ කෙළවර හා ඊට අනුබද්ධ ආම්පන්න පිටට පෙනීම වැළැක්වීමට උළුවහු මුදුනේ සවි කරන ලෑලි කූඩුව (=pelmet).

තිර පෝරුව

නා. දොරතිර ආදියෙහි වටේට එල්ලෙන රැලි දැමූ රෙදි තීරුව; තිරවල පහළට එල්ලා වැටෙන ලොවිච්චිය.

තිර වස්ත්‍රය

නා. බලි ආදි ශාන්ති කර්ම පිණිස තුඹස වට කොට බැඳ හැර දැමූ වස්ත්‍රය.

තිර වායුව

නා. ද්‍රවීභූත අවස්ථාවේ පවතිනවාට වඩා වෙනස් වූ පීඩනයක හා උෂ්ණත්වයක
පවත්නා වායුව.

තිරඟි කඳ

නා. ගොනුන් කර ඇඹීම සඳහා යොදා ගන්නා උපකරණයක නාමය.

තිරච්ඡාන

1. වි. තිරිසන්: තිරශ්චීන.
2. වි. පහත්; ලාමක.
නා.ප්‍ර. තිරිසන් භාවය; තිරිසන් උපත.

තිරච්ඡාන කථා

නා.බහු. බෞද්ධ භික්ෂුවක විසින් නොකළ යුතුය යි දැක්වෙන අන්න කතා ආදි දෙතිස් කථා; ස්වර්ග මෝක්ෂ දෙකට බාධක වන කතා.

තිරච්ඡාන යෝනිය

නා. තිරිසන් ජාතිය; තිරිසන් භාවය.

තිරට්ටුව

(කථා.) නා. තීරණය; තීන්දුව.

තිරත්නය

නා. බුද්ධ, ධම්ම, සංඝ යන තුන් රුවන; තෙරුවන.

තිරදත්

(පාරිභා.) නා.බහු. කිරි දත්වලට පසු ව එන දත්; ස්ථිර දත් (=permanent teeth).

තිරප්පුවා

නා. ඉබාගාතේ ඇවිදින්නා; ස්ථිර වාසයක් නැති තැනැත්තා.

තිරම

නා. පොළොන්නරු යුගයේ භාවිත වූ කාසි වර්ගයක්.

තිරමානය

1. නා. තීරණය; නිශ්චය.
2. නා. තිර අදින ලද සීමාව.

තිරය

1. නා. රෙද්දක් වැනි දෙයකින් කරන ආවරණය; කඩතුරාව; ජවනිකාව.
2. නා. පහන් වැටිය.

තිරවුර

(පාරිභා.) නා. ඉඩමක හෝ ගෙයකට හෝ සවි වූ දෙය; ස්ථාපිතය (=fixture).