සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 77

අධෝගාත්‍රා

නා.බහු. ශරීරයෙහි අධෝ භාගයෙහි වූ ගාත්‍රා; කකුල්; පාද.

අධෝගාමි

වි. පහතට යන; යටි අතට බසින.

අධෝභාගය

නා. යට පෙදෙස; යටි පැත්ත; ශරීරයේ පහත කොටස.

අධෝභාගිය

වි. යට භාගයට හෙවත් කාමලෝකයට අයත්.

අධෝමුඛ

වි. යටි අතට හැරුණු මුහුණ හෝ කට ඇති; යටිකුරු.

අධෝරක්තකිරණ

(පාරිභා.) නා.ප්‍ර. සාමාන්‍ය ආලෝකයට වඩා පදාර්ථ විනිවිද යෑමේ හැකියාවක් ඇතිව වර්ණාවලියේ රතට වඩා පහළින් තිබෙන විද්‍යුත් චුම්බක කිරණ විශේෂයක් (=infrared rays).

අධෝලම්බ

වි. පහතට එල්ලෙන; පහතට වැටෙන.

අධෝශීර්ෂ

වි. පහතට හැරවූ හිසින් යුක්ත; යටිකුරු හිස ඇති.

අනංග

වි. ශරීරයක් නැති.

අනංගයා

නා. කාමයට අධිපති දෙවියා; කාම දේවතාවා.

අනග

වි. අගය කළ නොහැකි; ඉතා වටිනා; මහඟු; අනර්ඝ.
1. නා.ප්‍ර. කුශලය; පින.
2. නා.ප්‍ර. අනංගයා.

අනග පියෙස

නා. එළිමහන් ප්‍රදේශය; පිට්ටනිය; පිටිය.

අනගාරික

වි. ගෘහවාසය නැති; ගිහිගෙයින් නික්මුණු; පැවිදි වූ.

අනගාරිය

නා.ප්‍ර. පැවිදි බව; පැවිද්ද.

අනගි

1. වි. අගය කළ නොහැකි; ඉතා වටිනා; අනර්ඝ; අනග.
2. වි. පාපයෙන් දුරු වූ; පාපයෙන් තොර; නිදොස්.

අනඝ

වි. පාපයෙන් දුරු වූ; පවින් වැළකුණු; නිදොස්; පිරිසිදු.

අනඞ්ග පීඩාව

නා. අනුරාගය නිසා ඇති වන දුක් වේදනාව; කාම පීඩාව.

අනඞ්ග පූජාව

නා. වසන්ත සමයෙහි දී අනඞ්ගයා උදෙසා පැවැත්වෙන උත්සවය; කාම දෙවියන් පිදීම.

අනඞ්ගක්‍රීඩා

නා.ප්‍ර. ස්ත්‍රී පුරුෂ සංසර්ගය; කාම සේවනය; මෙවුන්දම.

අනඞ්ගණ

නා.ප්‍ර. කෙලෙස් නැති; නික්ලේශී.

අනඞ්ගධ්වජය

නා. මත්ස්‍ය හෝ මකර රූපයක් සහිත කාම දේව කොඩිය.

අනඞ්ගපරිදාහ

නා.ප්‍ර. රාග නැමැති දැවිල්ල; කාම දාහය.

අනඞ්ගය

1. නා. අහස; ආකාශය.
2. නා. සිත; මනැස.
3. (ජ්‍යෝති.) නා. හත්වන භාවය; කලත්‍ර ස්ථානය.

අනඞ්ගීකෘත

වි. නොපිළිගත්; නොසලකනු ලැබූ.

අනඟරිපු

නා.ප්‍ර. අනංගයාගේ සතුරා; ශිව දෙවි; ඊශ්වර.