සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 826

දිගැලි

(පාරිභා.) නා.ප්‍ර. ගොවිතැනට ජලය ලබා ගැනීම සඳහා සෑදූ ඇළ; වාරිමාර්ගය (=canali).

දිගැසිය

නා. දික් වූ ඇස් හෙවත් දීර්ඝාක්ෂි ඇති කාන්තාව.

දිගිලිය

1. (කථා.) නා. දිය කඩිත්ත; වැව් ආදියට ජලය ගලා එන කුඩා දිය ඇළ.
2. නා. කඳු දෙකක් අතර වූ පටු බිම් තීරය.

දිගිවිල්ල

(කථා.) නා. ගව ආදි සතුන් බඳින දිග ලණුව; දිගේලි කිරීමට ගන්නා ලණුව.

දිගු

වි. දික් වූ; දීර්ඝ.

දිගු පරාසය

(පාරිභා.) නා. දික් දුර ප්‍රමාණය; වැඩිදුර සීමාව (=long range).

දිගුකාලීන

වි. බොහෝ කාලයක් ක්‍රියාත්මකව පවත්නා.

දිගුකුරු

නා.ප්‍ර. දික් අකුර; මාත්‍රා දෙකකින් කියැවෙන අකුර.

දිගුණය

නා. ප්‍රමාණ දෙක; දෙගුණය; ද්විත්ව ගුණය.

දිගුනෙත

1. නා. දික්වූ ඇස; දීර්ඝ වූ නේත්‍රය.
2. නා. දික් වූ ඇස් ඇත්ති; දීර්ඝාක්ෂිය; කාන්තාව.

දිගුපති

1. නා. දිශාවලට අධිපති ඉන්ද්‍රාදි දෙවිවරු.
2. නා. ප්‍රදේශාධිපති; දිසාපති.

දිගුපිටු

නා.ප්‍ර. දීර්ඝ පිටක් ඇත්තා වන නාගයා.

දිගුබිත

නා. දිශා නමැති භිත්තිය.

දිගුව

1. නා. දිග; දීර්ඝත්වය;
2. නා. මාත්‍රා දෙකක් ඇති අක්ෂරය.
3. නා. දිශාව; පැත්ත.
4. නා. නින්දාව; ගැරහුම.
5. නා. ප්‍රධාන දුරකථන අංකයක් ආශ්‍රයෙන් සම්බන්ධ කර ගත හැකි අනු අංකයක්.

දිගෙලි කරනවා

ක්‍රි. ඇවිද තණකොළ කෑමට හැකිවන සේ ගවයන් වැනි සතුන් දිග කඹයකින් බැඳ තබනවා; දිගවෙලි කරනවා.

දිගේ

ක්‍රි.වි. ඔස්සේ; අනුකූල ව.

දිගෝවිලි

1. නා.ප්‍ර. කාව්‍ය වෘත්තයක්.
2. නා.ප්‍ර. දික් ඕවිල්ල; දිග ඔංචිල්ලාව.

දිජ

නා.ප්‍ර. බමුණා; ද්විජ.

දිට

නා. දෘෂ්ටිය; ඇස; නෙත; නයනය; නුවන.

දිටන්

නා.ප්‍ර. අදිටන්; ස්ථිර ව සිතා ගැනීම; අධිෂ්ඨානය.

දිට්ඨ

වි. දුටු; දක්නා ලද.

දිට්ඨධම්මවේදනීය

වි. මේ භවයෙහි දී ම විපාක දෙන.

දිට්ඨාලම්බනය

නා. සත්ත්වයා සසර ගිල්වන මිථ්‍යාදෘෂ්ටි නමැති මහ ජලස්කන්ධය; මිසදිටු බව නමැති සැඩපහර.

දිටි

1. නා.ප්‍ර. ඇස; නෙත; නයන; නුවන.
2. නා.ප්‍ර. ඇදහීම; විශ්වාසය.
3. නා.ප්‍ර. දැකීම; පෙනීම.