සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 857

දුලද

නා. වැරදි ඇදහීම; මිථ්‍යා විශ්වාසය; දුර්ලබ්ධිය.

දුලනවා

1. ක්‍රි. දිලිසෙනවා; බබළනවා; ජ්වලිත වෙනවා.
2. ක්‍රි. දැල්වෙනවා.

දුලබ

වි. ලබාගැනීමට අපහසු; දුක සේ ලැබ ගත යුතු; දුර්ලභ; හිඟ.

දුල්

නා.ප්‍ර. පත්‍ර; කොළ.

දුලිළිපන්

වි. වැරදි මඟට වැටුණු.

දුව

1. නා. දූ; දුහිතෘව.
2. නා. දෙක; යුගල.

දුවත්

නා.ප්‍ර. නපුරු මඟ; අයහපත් මාර්ගය.

දුවනවා

1. ක්‍රි. දිවීමෙහි යෙදෙනවා; ධාවනය කරනවා.
2. ක්‍රි. තෙලෙන් බදිනවා; තෙම්පරාදු කරනවා; සුවඳ කවනවා.

දුවන්තල

නා.ප්‍ර. උකුළු තලය; කටී පෙදෙස.

දුවර්ණ

වි. කිලිටි පැහැයෙන් යුක්ත; දුර්වර්ණ වූ.

දුවරුවා

නා. සූදු කෙළියෙහි යෙදෙන්නා.

දුවා නමනවා

නා. තෙලෙන් සුවඳ කවනවා; තෙම්පරාදු කරනවා; ධූපනය කරනවා.

දුවාලිය

නා.ළ. අසුන් දුවවන මණ්ඩලාකාර මාර්ගය; අශ්ව ධාවන පථය.

දුශ්

උ. සංස්කෘතයෙන් තත්සම වූ වචන සමග සිංහලයෙහි තත්සම වශයෙන් දුෂ්ට, අයහපත්, වැරදි, නරක, අමාරු යන අර්ථවල යෙදෙන උපසර්ගයක්.

දුශ්චරිතය

නා. කය, වචනය, සිත යන තුන්දොරින් කෙරෙන නරක හැසිරීම; වැරදි පැවැත්ම; දුසිරිත; දුරාචාරය.

දුශ්චරිත්‍රාව

නා. අයහපත් සිරිත් ඇත්තිය; නරක පැවැත්මෙන් යුත් කාන්තාව; දුරාචාරයෙහි හැසිරෙන්නිය.

දුශ්ශ්වසනය

නා. දුක සේ හුස්ම ගැනීම හා හෙළීම; අපහසුවෙන් කරන ආශ්වාස-ප්‍රශ්වාස.

දුශ්ශ්‍රාධ්‍ය

වි. ඇදහිය නොහැකි; අසම්භාවිත.

දුශ්ශීල

1. වි. ශීලයෙහි නොපිහිටි; දුසිල්.
2. වි. වැරදි ලෙස හැසිරෙන; දුශ්චරිත ඇති.

දුශ්ශීල කරනවා

ක්‍රි. නොමනා වැඩ කරනවා; නරක කටයුතු කරනවා.

දුෂ්කර

වි. කිරීමට අපහසු; දුක සේ කළ යුතු; අසීරු; අමාරු.

දුෂ්කර ක්‍රියාව

1. නා. බුද්ධ ඥානය පතා පිරීමට අමාරු ව්‍රතවල යෙදීම; බුද්ධත්වය පතා යෙදෙන අත්තකිලමථානුයෝගය.
2. නා. කිරීමට අමාරු කාර්යය; වෙහෙස ගෙන දෙන කාර්යය.

දුෂ්කාරය

නා. (ක්‍රිස්ති.) (චිත්ත පාරිශුද්ධිය පතා පුරන) දුෂ්කර ව්‍රතාදි කාර්යය.