සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 933

නිර්ද්ධාරණය

නා. (ව්‍යාක.) සමූහකින් එකක් වෙන් කොට ගැනීම; නිර්ධාරණ යෝගය.

නිර්ද්ධාරණාර්ථය

නා. (ව්‍යාක.) ජාති, ගුණ, ක්‍රියා, සංඥා ආදි විශේෂයක් නිසා සමූහයකින් එකක් වෙන් කොට ගැනීම; නිර්ධාරණ යෝගය.

නිර්ද්‍රව

වි. දියර ගතිය හෝ දියරයක ක්‍රියාකාරිත්වය හෝ නැති; අනාර්ද්‍ර.

නිර්දිශ්‍ය

වි. දැක්වුව මනා; පෙන්වා දිය යුතු.

නිර්දිෂ්ට

වි. දක්වන ලද; නිර්දේශ කළ; ඉදිරිපත් කළ.

නිර්දිෂ්ටය

නා. ඉදිරිපත් කළ දෙය; නිර්දේශ කළ දෙය; දත්ත.

නිර්දිෂ්ටාර්ථය

නා. ගෙනහැර දක්වන ලද තේරුම; නිදර්ශනවලින් දැක්වෙන අර්ථය.

නිර්දුඃඛ

වි. දුක් නැති; දුකින් තොර; නිදුක්.

නිර්දුෂ්ට

වි. දූෂිත භාවයෙන් තොර; සාවද්‍ය නොවන; දෝෂ විරහිත.

නිර්දේශ අක්ෂය

(පාරිභා.) නා. ලක්ෂ්‍ය දෙකක් අතර සම්බන්ධය ඇති කරන රේඛාව (=axis of reference).

නිර්දේශ කරනවා

1. ක්‍රි. ඉදිරිපත් කරනවා.
2. ක්‍රි. මැනවැයි දක්වනවා.
3. ක්‍රි. නියම කරනවා.

නිර්දේශ පත්‍රය

නා. අධ්‍යාපන විෂයමාලා හෝ විභාග ආදිය පිළිබඳ නියමිත ව්‍යවස්ථා පාඨග්‍රන්ථ ආදි විස්තර දැක්වෙන ලේඛනය; නිර්දේශ පත්‍රිකාව.

නිර්දේශ පරිණාමය

(පාරිභා.) නා. විවිධ ශාකවල හෝ සතුන්ගේ හෝ කිසියම් නියත න්‍යායක් ඔස්සේ සිදුවීගන එන පරිණාමය (=directive evolution).

නිර්දේශ ලක්ෂ්‍යය

(පාරිභා.) නා. කිසියම් තැනක උස, පිහිටීම, දුර ආදිය ප්‍රකාශ කරන්නට මුල් කරගන්නා ලක්ෂ්‍යය (=reference point).

නිර්දේශක

වි. දක්වන; ඉදිරිපත් කරන; විස්තර කොට දක්වන; නිර්දේශ කරන.

නිර්දේශකය

1. නා. යමක් පෙන්නුම් කරන දෙය; යමක් ලකුණු කොට දැක්වීමට යොදා ගන්නා දෙය.
2.(පාරිභා.) නා. ඝාතාංකය; දර්ශකය (=index).

නිර්දේශකයා

1. (පාරිභා.) නා. විස්තර ඉදිරිපත් කරන්නා (=commentator).
2. නා. පෞද්ගලික බිල්පත්‍ර ආදිය පරික්ෂා කොට බලා තීරණ දීම සඳහා පාලක මණ්ඩලයකින් බලය පැවරුණු තැනැත්තා.

නිර්දේශය

1. නා. ඉදිරිපත් කිරීම.
2. නා. නියම කිරීම; නියමය; නියෝගය.
3. නා. විස්තර කථනය; විස්තර දැක්වීම; විස්තරය.

නිර්දේහ

(පාරිභා.) වි. ශරීරයක් නැති; කොඳුඇට පෙළක් නැති වුව ද කොඳු ඇට නූලක ඇති (=acentrous).

නිර්දෝෂී

වි. දොසින් යුක්ත නොවූ; නිදොස් වූ.

නිර්ධන

වි. ධනය නැති; ධන හීන; දුප්පත්.

නිර්ධමනය

නා. නෙරපා දැමීම; දුරු කිරීම; පලවා හැරීම.

නිර්ධ්මාපනය

නා. කටින් හඬ ඇති ව වායුව පිට කිරීම; පිඹීම.

නිර්ධාරණය

නා. වෙන් කිරීම; වර්ග කිරීම.