සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 935

නිර්මාණය

1. නා. සෑදීම; නිෂ්පාදනය; නිපදවීම.
2. නා. ප්‍රබන්ධය; රචනය.

නිර්මාණවාදය

නා. විශ්වය සර්ව බලධාරී දෙවියෙකුගේ බලමහිමයෙන් නිමැවූවක්ය යන මතය.

නිර්මාණශිල්පි

නා.ප්‍ර. ගෙවල් සහ වෙනත් ගොඩනැගිලි ආදිය තැනීම පිළිබඳ සැලසුම් ආකෘති පිළියෙල කරන්නා; ගෘහ නිර්මාණ ශිල්පියා.

නිර්මාණාත්මක

වි. (අලුත් දේ) නිපදවීම සම්බන්ධ; නව නිපැයුම පිළිබඳ.

නිර්මාණෝපාය

නා.ප්‍ර. තැනීම්, ඉදිකිරීම් පිළිබඳ උපාය.

නිර්මාත්‍ර

නා.ප්‍ර. මාත්‍රයකුදු ඉතිරි නොකිරීම; මුළුමනින් නැති කිරීම.

නිර්මාතෘ

1. නා.ප්‍ර. (යම්කිසිවක්) නිපදවන්නා; මවන්නා; නිර්මාණය කරන්නා; (යම්කිසිවක) ආරම්භය.
2. නා.ප්‍ර. (විශ්වය හෝ ලෝකය) මැවූ තැනැත්තා; මැවුම්කරුවා; නිර්මාපකයා.

නිර්මානය

නා. නිරහංකාරය; උඩඟු බැවින් තොරවීම.

නිර්මාපිත

වි. නිපදවන ලද; නිමවනු ලැබූ.

නිර්මාල්‍ය

1. වි. මල රහිත; පවිත්‍ර.
2. වි. පූජාවෙන් පසු ඉවත ලූ මල්.

නිර්මිත

වි. මවන ලද; නිෂ්පාදිත; නිමවන ලද.

නිර්මිතිය

නා. නිර්මාණය කළ දෙය; නිමවුම.

නිර්මුක්ත

වි. නිදහස් වුණු; මිදුණු.

නිර්මූල

වි. මූලයක් නැති; හේතුවක් නැති; නිදානයක් නැති.

නිර්මූලනය

නා. සහමුලින් විනාශ කිරීම; සමූල ඝාතනය, සම්පූර්ණයෙන් ම නැසීම.

නිර්මේද

වි. මේද තෙල් රහිත; මේද නොමැති; වුරුණු තෙල් නැති.

නිර්මෝචනය

නා. පක්ෂීන්ගේ පිහාටු හැලීම හෝ සර්පාදින්ගේ හැව ඇරීම.

නිර්යන්ත්‍රණ

වි. බාධා නැති; අවහිරයක් නොමැති.

නිර්ය්‍යාණය

නා. නිවනට පමුණුවන ධර්මය; සසර දුකින් නිදහස් කරන දහම.

නිර්යාණ

වි. සසරින් බැහැර කරවන; සසර දුකින් නිදහස් කරවන.

නිර්යාණාවරණ

වි. නිවන්මඟ අවුරන; නිවනට බාධා කරන.

නිර්යාත

වි. වෙළඳ භාණ්ඩ වශයෙන් විදේශයකට යවන ලද; අපනයනය කළ.
නා.ප්‍ර. අපනයනය කරන ලද භාණ්ඩ සමූහය.

නිර්යාත ආර්ථික ක්‍රමය

නා. වෙළඳ භාණ්ඩ වශයෙන් විදේශවලට යැවීමෙන් ආර්ථික සම්පත් ලබාගැනීමේ ක්‍රමය; අපනයන ආර්ථික සැලැස්ම.

නිර්යාත වෙළඳපොළ

නා. පිටරට යවන ද්‍රව්‍ය අලෙවි කරන ස්ථානය; අපනයන ද්‍රව්‍ය අලෙවි මධ්‍යස්ථානය.