සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 972

නෛයායිකයා

නා. න්‍යාය දන්නා තැනැත්තා; තර්ක ශාස්ත්‍රයෙහි හසළ පුද්ගලයා; තාර්කිකයා.

නෛර්යාණික

වි. නිවනට පමුණුවන; නිවන් පිණිස පවත්නා; නිවනට අයත්.

නෛරුක්තික

වි. භාෂාවක ශබ්දවල මුල ප්‍රභවය ආදි ලක්ෂණ සම්බන්ධ වු; නිරුක්ති පිළිබඳ.

නෛරුක්තිකයා

නා. භාෂාවක ශබ්දවල ප්‍රකෘති ප්‍රත්‍යාදි අර්ථ දක්වන්නා; නිරුක්ති දන්නා.

නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව

නා. ගිහිගෙයින් නික්මයාමෙන් කරන පාරමිතාව; අඹුදරු සැපසම්පත් හැරපියා පැවිදි වීමෙන් පුරන පාරමිතාව.

නෛසර්ගික සාක්ෂි

(පාරිභා.) නා.ප්‍ර. (නීති.) ස්වභාවයෙන් ම ලැබෙන සාක්ෂි.

නොංඩි

වි. එක් පයක් වක් කොට යන; පයක් කොර.

නොංඩියා

නා. පාදයක් කොර වූ තැනැත්තා; කොරා.

නොඇකිළෙන

(පාරිභා.) වි. සේදීමේ දී ඇකිළීමෙන් නොඇහිරෙන; සංකෝචනය නොවන; පටු වීමට භාජන නොවන.

නොඉඳුල්

වි. අනුභව නොකළ; යන්තමින් වත් කෑමට නොගත්; රස නොබැලූ.

නොඉපයූ

(පාරිභා.) වි. ශ්‍රමය වැය කිරීමෙන් උපයා ගනු නොලැබූ මහන්සියෙන් නොඋපයන ලද.

නොඑක

වි. එකකට වැඩි; නානා; අනේක; විවිධ; බොහෝ.

නොඑනී

ක්‍රි.වි. අන් උපායකින්; වෙනත් උපක්‍රමයකින්.

නොකටයුත්ත

නා. අසාධාරණ ක්‍රියාව; අයතු දෙය; වැරැද්ද; අයුත්ත.

නොකඩ

වි. නොකැඩුණු; අඛණ්ඩ

නොකමස

නා.ප්‍ර. අකමැත්ත; අරුචිය.

නොකමසේ

වි. අවසන් නොවන; අවසානයක් නැති; විරාම රහිත.
ක්‍රි.වි. අකමැති සේ; නුරුස්සන පරිද්දෙන්.

නොකල්

නා.ප්‍ර. අවේලාව; අකාලය; අනියම් කාලය; නුසුදුසු කාලය; නපුරු කල.

නොකැලැල්

වි. කැලලක් නැති; අකලංක; පවිත්‍ර; නිර්මල

නොකිලිටි

වි. කිලිටි නොවූ; පවිත්‍ර; නිර්මල.

නොට්

නා.ප්‍ර. මුහුදේ දුර මැනීම සඳහා භාවිත කරන අඩි 6080 ක මිම්ම; නාවික සැතැප්ම.

නොතනි

වි. හුදකලා නැති; තනි නැති.

නොතබා

ක්‍රි.වි. ඉතිරි නොකොට; අඩු නොකොට; සම්පූර්ණ වසයෙන්.

නොතරම්

වි. තත්ත්වයට නොගැළපෙන; සුදුසු තරම් නොවන; නොසෑහෙන; අයෝග්‍ය.