සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 993

පමා වෙනවා

ක්‍රි. ප්‍රමාද වෙනවා ; කල්ගත වෙනවා ; නිසි කලට කළ නොහැකි වෙනවා.

පමාකාරි නිෂේධය

(පාරිභා.) නා. යෝජනාවක්, වැඩ පිළිවෙළක්, තීරණයක් හෝ නීතියක් ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කිරීමට අධිකාර බලධාරියකුට ඇති නීත්‍යනුකූල බලය.

පමිස්

(පාරිභා.) නා.ප්‍ර. වායු මිශ්‍රිත ලාවාවල පෙණවලින් සෑදෙන සැහැල්ලු ගල් විශේෂයක්.

පමුණනවා

1. ක්‍රි. පමුණුවනවා ; සම්ප්‍රාප්ත කරවනවා ; ළඟා කරවනවා.
2. දක්වනවා ; සැල කරනවා ; කියා සිටිනවා ; ඔප්පු කර සිටිනවා.

පමුණු

නා.ප්‍ර. පාරම්පරිකව අයිතිය පවතින සේ තෑගි කරන ලද ඉඩම ; පරවේණි ඉඩම.

පමුව

නා. හවඩිය ; දාමය ; පටිය.

පය

1. නා.ප්‍ර. පාදය ; කකුල.
2. පාත්‍රය.
3. ජලය ; වතුර ; දිය.
3. මලපුඩුව ; පාශය.

පයනේරුවා

නා. මඟ හෙළි කර දෙන්නා ; කිසියම් කාර්යයක ආරම්භකයා ; මාර්ග දර්ශකයා.

පයරියා

නා.ප්‍ර. විදුරු මස් ඉදිමී සැරව ගැළීම ලක්ෂණ කොට ඇති මුඛ රෝගයක්.

පයස්

1. නා.ප්‍ර. කිරි ; ක්ෂීරය.
2. වතුර ; ජලය ; දිය.
3. පායාසය ; කිරි මුසු කොට පිසූ බත; කිරිබත.

පයිංඩය

1. නා. (මහනුවර රාජ්‍ය පාලන සමයේ) රාජකාරිය ; නිලය ; සේවාව.
2. පණිවුඩය ; හස්න.

පයින්ට්

නා.ප්‍ර. ගැලුමකින් අටෙන් පංගුවක ප්‍රමාණය ඇති ධාරිතා මිනුම ; ලීටර් 0.568ක ප්‍රමාණය.

පයින්ටුව

නා. දුම්රිය මඟෙහි පීලී මාරු කරන සන්ධි ස්ථානය.

පයිප්පය

1. නා. ද්‍රවයක් හෝ වායුවක් ගලා යා හැකි පරිදි සිදුර සහිතව ලෝහ ආදියෙන් තැනූ නාලය ; කෘත්‍රිම බටය.
2. කෝවක් සහිත දුම් ඉරීමේ උපකරණය ; දුම්කොව.

පයිය

නා. කුඩා මල්ල ; පසුම්බිය ; ඔලගුව ; පහිය.

පයිරුපාසනය

නා. ඉතා කුලුපග ලෙස ඇසුරු කිරීම ; සමීප ආශ්‍රය ; භජනය.

පයිරොමීටරය

නා. අධික තාපය මනින මනුව ; උගුතාප මාපකය.

පයිලිකම්

නා.ප්‍ර. හිතවත්කම් ; ලෙන්ගතුකම් ; යටහත් පහත්බව.

පයෝගය

නා. ප්‍රයෝගය ; ප්‍රයත්නය ; උපක්‍රමය ; උපායය.

පයෝධරය

1. නා. ස්තනය ; තනය ; පියයුර.
2. වැහි වලාකුළ ; මේඝකූටය.

පයෝලසය

(පාරිභා.) නා. දිර වූ ආහාර අන්තර්ගත කිරිපාටට හුරු ද්‍රවය.

පර

1. වි. වෙනත් ; පිට ; එහා ; අන්‍ය.
2. අනිකකු සතු.
3. වෙනත් රටකට හෝ ජාතියකට හෝ අයත්.
4. සතුරු ; විරුද්ධ ; ප්‍රතිවාදී.
5. පසු ; පසුව.
6. ඉකුත් වූ.
7. මැලවුණු ; ඉතා ඉදුණු.
8. නීච ; අධම ; තුච්ඡ.
9. නිරත වූ ; නියැලුණු.
1. නා.ප්‍ර. ගල්වැලි ආදියෙන් සෑදුණු වැටි.
2. හඬ ; ඝෝෂාව.
3. ගස් වර්ගයක්. - අව්‍ය. උපසර්ග අතුරෙන් එකක් ; අතිශයාර්ථ සහිත උපසර්ගයක්.

පර සංසේවනය

(පාරිභා.) නා. එක් මලක ස්ත්‍රී ජන්මාණු තව මලක පුරුෂ ජන්මාණු සමඟ එක් වී ප්‍රජනනය ඇතිවීම.

පර සතුරා

නා. සිය රටට විරුද්ධ ව පිටින් පැමිණි සතුරා ; විදේශීය සතුරා ; ආක්‍රමණිකයා.