සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 992

පපටිකාව

1. නා. ගස්වල කඳෙහි වියැළී ඉරි තැළී ගිය පිටපොත්ත.
2. ගල් ආදියක පැතලි කැබැල්ල ; පතුර.

පපාතය

නා. හෙල ; එක්වර නැග සිටි පර්වත ප්‍රාන්තය ; උස් බිමක් හා ආශ්‍රිත ව පවතින දළ බෑවුම ; ප්‍රපාතය.

පපුව

1. නා. බෙල්ලත්, උදරයත් අතර ශරීරයේ ඉදිරිපස කොටස ; ළය පෙදෙස ; උරය.
2. පෙණහැල්ල ; පුප්ඵුසය.
3. හදවත ; හෘදය වස්තුව.

පබකර

නා.ප්‍ර. ප්‍රභාකරය ; ප්‍රභාව ඇති කරන්නා හෙවත් සූර්යයා.

පබඳ

1. වි. නොකඩවා පවත්නා ; එකට බැඳුණු ; අඛණ්ඩ වූ.
2. ප්‍රසිද්ධ වූ ; ප්‍රකට වූ.
3. රචනා සම්බන්ධ වූ.
1. නා.ප්‍ර. රචනාව ; ප්‍රබන්ධය.
2. නොකැඩී පවත්නා ධාරාව ; එක දිගට පවත්නා සම්බන්ධය.
ක්‍රි.වි. නිරන්තරයෙන් ; නිරතුරු.

පබමඬල

නා. බුදුරැස් මඬුල්ල ; ව්‍යාම ප්‍රභා මණ්ඩලය.

පබල

වි. ඉතා බලවත් වූ ; ප්‍රබල වූ.

පබසර

1. නා.ප්‍ර. විශිෂ්ට වූ රශ්මිය ; ප්‍රභාසාරය.
2. බුදුන් වහන්සේගේ සිරුරින් නිකුත්වන ෂඩ්වර්ණ රශ්මියෙන් එකකි.

පබළු

1. නා.ප්‍ර. සමුද්‍ර ජීවීන් විශේෂයක අස්ථි අවශේෂවලින් මුහුදු දිය තුළ සෑදෙන හුණුගල් වර්ගයක් ; කොරල්.
2. රතු පැහැයෙන් යුත් රත්න විශේෂයක් ; පවාළ හෙවත් ප්‍රවාල.

පබ්බජ්ජාව

නා. ගිහිගෙය අත්හැර ආගමික හුදු ජීවිතයකට පිවිසීම ; පැවිද්ද ; ප්‍රව්‍රජ්‍යාව.

පබ්බජිත

වි. පැවිදි ජීවිතයට පත්; මහණ වූ ; ප්‍රව්‍රජිත.

පබ්බජිතයා

නා. පැවිදි බවට පත් පුද්ගලයා ; පැවිද්දා ; ප්‍රව්‍රජිතයා.

පබ්බතය

නා. පර්වතය ; පවුව; ගිර ; කන්ද.

පබ්බාජනීය කර්මය

නා. (විනය.) අනාචාරයෙහි හැසිරෙන භික්ෂුන්ට දඬුවම් වශයෙන් ආරාමයෙන් නෙරපා හැරීමේ විනය කර්මය.

පබ්භාර

වි. නැමුණු ; බර වුණු ; ඇල වුණු.
නා.ප්‍ර. පර්වතයක් හෝ ගල්කුළක් හෝ නැමී යෑමෙන් සෑදුණු පියස්ස සහිත ගල්ගෙය ; ගල්කුළක් ඉදිරියට නෙරා යාමෙන් සෑදුණු ලෙන.

පබොද

වි. සතුට ගෙන දෙන ; සිත් සතන් පුබුදු කරවන ; ප්‍රබෝධ ජනක.

පබෝදය

නා. සතුට ; ප්‍රීතිය ; තෘප්තිය ; ප්‍රබෝධය.

පභ; පභා

නා.ප්‍ර. ආලෝකය ; කාන්තිය ; දීප්තිය ; ප්‍රභාව.

පමණ

1. නා. ප්‍රමාණය ; තරම ; විතර ; විශාලත්වය.
2. සංඛ්‍යාවකින් හෝ ගණනින් දක්වන ප්‍රමාණය.
3. සෑහෙන ප්‍රමාණය ; සුදුසු තරම ; ටික.

පමත්

වි. සිහියෙන් තොර වූ ; කටයුත්තෙහි අලස වූ ; ප්‍රමාද වූ.

පමද

1. නා.ප්‍ර. ප්‍රමදාව ; ස්ත්‍රිය ; කාන්තාව.
2. ප්‍රමාදය.

පම්පෝරිය

නා. අතිශයෝක්තියෙන් ආත්ම වර්ණනයෙහි යෙදීම ; පුරසාරම ; පුරාජේරුව ; වාගාඩම්බරය.

පමා

1. නා.ප්‍ර. ප්‍රමාදය.
2. කාන්තාව.

පමා කරනවා

ක්‍රි. කල් පසු කරනවා ; අතපසු කරනවා ; කල් දමනවා.