අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 164

නටබුන්

වි. කැඩුණු බිඳුණු; විනාශ වී ගිය; නෂ්ට වූ

නණ්ඩුව

නා. වී, තිරිඟු ආදි ධාන්‍ය ඇටවල තුඩෙහි ඇති, දැඩි කෙන්ද

නද

නා.ප්‍ර. නාදය; ශබ්දය (පා. සං. නාද)

නදී තීර්ථය

නා. ගං තොටුපළ

නන

නා.ප්‍ර. කුඩයේ සැකිල්ල සාදා ඇති කූරු

නනරුත්

වි. නොයෙක් තේරුම් ඇති (සං. නානාර්ථ)

නන්දනය

නා. ප්‍රීතිය; සතුට; ප්‍රීණනය (පා. සං. නන්‍දන)

නන්දනෝද්‍යානය

නා. නන්දන වනය; නඳුනුයන (සං. නන්‍දනොද්‍යාන)

නන්නාඳුනන

වි. කිසිදු ඇඳිනීමක් නැති

නඳ

නා.ප්‍ර. ආනන්දය (පා. සං. නන්‍ද)

නඳුන්

නා.ප්‍ර. සතුට/ ශක්‍රයාගේ උද්‍යානය (පා. නන්‍දන)

නඳුනුයන

නා. තව්තිසා දෙව්ලොව ඇතැයි සැලකෙන නන්දන උද්‍යානය

නපුංසකයා

නා. ජන්මයේ දී ස්ත්‍රී හෝ පුරුෂ හෝ ලිංග නොමැති ව උපදින්නා; පණ්ඩකයා (පා. සං. නපුංසක)

නබ

නා. අහස; නුබ (පා. සං. නභ)

නභෝගර්භ

නා.ප්‍ර. අහස්ගැබ; ගුවන්තලය

නම්නීකරණය

නා. අනුගත කිරීම

නම්‍ය

වි. නැමිය හැකි; නැමෙනසුලු/ නැඹුරුවන (සං. නම්‍ය)

නමුණුකුළ

නා.ප්‍ර. ලංකාවේ කඳු වැටියක නාමය

නය

නා. ක්‍රමය; පිළිවෙල/ නීතිය; න්‍යාය (පා. සං. නය)

නයන

නා.ප්‍ර. මෙහෙයීම; පැමිණීම/ ඇස; නුවණ (පා. සං. නයන)

නයනෝන්මීලනය

නා. ඇස හැර බැලීම; ඇස් දල්වා බැලීම (සං. නයන+උන්මීලන)

නයියඩි වන්නම

නා. නයකුගේ ගමන් විලාසය පිළිබිඹු කරන නැටුම

නරනිඳු

නා.ප්‍ර. මිනිසුන් අතර ප්‍රධානයා; නරේන්ද්‍රයා; රජු (සං. නරෙන්‍ද්‍ර)

නරඹනවා

ක්‍රි. ඇසින් බලනවා; නිරීක්ෂණය කරනවා