අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 163

ධූර්තයා

නා. සූදුව, මත්පැන් පානය ආදි දුසිරිතෙහි ගැලුණු තැනැත්තා (සං. ධූර්ත)

ධූලකය

නා. සිරුර ඇතුළෙහි ඇති වන රෝග කාරක ඓන්ද්‍රිය විෂ වායුව (සං. ධූලක)

ධූලි

නා.ප්‍ර. දූවිල්ල/ මල්රේණු (සං. ධූලි)

ධෘත

වි. දරන ලද/ රඳවාගත් (සං. ධෘත)

ධෘතරාෂ්ට්‍ර

නා.ප්‍ර. සතරවරම් දෙවිවරුන්ගෙන් එක් දෙවියකුගේ නාමය (සං. ධෘතරාෂ්ට්‍ර)

ධෘෂ්ටතාව

නා. ධෛර්යය; නිර්භීතභාවය (සං. ධෘෂ්ටතා)

ධේනුව

නා. එළදෙන/ සිංහ, මෘග, ව්‍යාඝ්‍ර ආදි සිවුපා සතුන්ගේ සහ හංස, කෝකිල, ගිරා වැනි පක්ෂීන්ගේ ගැහැනු සතා (පා. සං. ධෙනු)

ධෛර්යය

නා. විඳ දරා ගැනීමේ ශක්තිය; උත්සාහය (සං. ධෛර්යය)

ධෝවනය

නා. ජලයෙන් සේදීම; පිරිසිදු කිරීම (පා. ධොවන)

නක

නා. නිකාය (පා. නිකාය)

නක්ෂත්‍රඥයා

නා. ජ්‍යෝතිෂ්‍යය දන්නා තැනැත්තා (සං. නක්‍ෂත්‍රඥ)

නක්ෂත්‍රය

නා. තරුව/ තරු සමූහය/ ජ්‍යොතිශ්ශාස්ත්‍රය/ රාශි චක්‍රයේ විසිහතෙන් පංගුව; නැකත (සං. නක්‍ෂත්‍ර)

නඛය

නා. නිය; නියපොත්ත (පා. සං. නඛ)

නගණය

නා. සර්ව ලඝු ගණය; දේව ගණය (සං. නගණ)

නගනය

නා. ඇසිපියෙහි හට ගැනෙන බිබිල

නගර ගුත්තික

නා.ප්‍ර. පුරාණ භාරතයේ හා ලංකාවේ නගරාරක්ෂක සේවාවේ ප්‍රධානයා හැඳින්වූ නිල නාමය

නගර ශෝභිනිය

නා. වේශ්‍යාව; වෙසඟන (පා. නගරසොභිනී)

නගරශ්‍රීය

නා. පුරයෙහි අලංකාරය/ නගරය නමැති සිරිකත

නගරශෝධක

නා.ප්‍ර. නුවර පිරිසිදු ව තබා ගැනීම සඳහා සේවයේ යෙදෙන සේවකයා (පා. නගරසොධක)

නගරාධිපති

නා.ප්‍ර. නගර සභාවක ප්‍රධානයා (සං. නගරාධිපති)

නගරාන්තර

නා.ප්‍ර. නගර අතර/ නුවර ඇතුළත

නග්න

වි. නිරුවත්; නොවැසුණු (සං. නග්න)

නග්නීකරණය

නා. ස්වාභාවික හෝ කෘත්‍රිම හෝ හේතු නිසා කිසියම් පෙදෙසක් ශාකයන්ගෙන් තොර බවට පත් වීම/ පෘථිවි පෘෂ්ඨය ගෙවී යාම (සං. නග්නීකරණ)

නඟුල

නා. සීසෑම පිණිස භාවිත කරන උපකරණයක නාමය; නංගලය (පා. නඞ්ගල සං. ලාඞ්ගල)