අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 262

මෙලනින්

නා.ප්‍ර. හිසකෙස් හා සමෙහි ඇති කළු හෝ දුඹුරු පැහැ වර්ණකය (ඉං. melanin)

මෙවුන්දම්

නා.ප්‍ර. ස්ත්‍රී-පුරුෂ සංසර්ගය; මෛථුන ධර්මය

මෙවුල

නා. ඉණ පලඳින කාන්තා ආභරණයක්; මේඛලාව (පා. සං. මෙඛලා)

මෙහෙණ

නා. භික්ෂුණිය

මෙළෙක්

වි. මොළොක්

මේකුළු

නා. වැසි වලාකුළ (සං. මෙඝකූට)

මේඛලාව

නා. පුරාණයේ භාවිත කාන්තා ආභරණ විශේෂයක්; රසනාදාමය (පා. සං. මෙඛලා)

මේඝ

නා.ප්‍ර. වැසි වලාකුළ/ වැස්ස (සං. මෙඝ)

මේඝකූට

නා.ප්‍ර. වැසි වලාකුළ

මේඝගර්ජනය

නා. අහස් ගිගුරුම (සං. මෙඝගර්ජනා)

මේඝවර්ණ

වි. වැසි වලාකුළක පැහැය ඇති තද නිල් පැහැය (සං. මෙඝවර්ණ)

මේදය

නා. ශරීරයේ ඇති තෙල (පා. සං. මෙද)

මේධාවී

වි. ඥානවන්ත (පා. සං. මෙධාවී)

මේලපලඳනාව

නා. කාන්තා ශරීර පලඳනාවක්/ විශාඛාවට ඇගේ පියාණන් විසින් දායාද කරන ලද ශරීර පලඳනාව

මේලා

නා.ප්‍ර. සැණකෙළිය (සං. මෙලා)

මේෂ

නා.ප්‍ර. ජ්‍යොතිෂ්‍යයෙහි සඳහන් රාශි දොළසින් පළමු වැන්න/ එළුවා (සං. මෙෂ)

මේස

නා.ප්‍ර. ලීයෙන් හෝ ලෝහයෙන් හෝ තැනූ ගෘහ හා කාර්යාල භාණ්ඩයක් (පුර්. mesa)

මෛත්‍රී

නා.ප්‍ර. හිත සුව පැතීම/ මෛත්‍රී බෝධිසත්ත්වයා (සං. මෛත්‍රී)

මෛථුනය

නා. ස්ත්‍රී-පුරුෂ සංසර්ගය (සං. මෛථුන)

මොට්ටැක්කිළිය

නා. හිස වසන රෙද්ද

මොනරා

නා. මයූර පක්ෂියා (පා. මොර සං. මයූර)

මොල්ලිය

නා. ගව ආදි ඇතැම් සිව්පා සතුන්ගේ පිට කොන්දෙහි බෙල්ලට ආසන්නයේ ඇති උස් මස් පිඬ

මොහොට්ටාල

නා.ප්‍ර. පැරණි රජ සමයේ ලිපිකාර නිලය

මොළ

වි. චණ්ඩ නා.ප්‍ර. කුණු දිය බැස යන කාණුව/ මොළය