අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 350

සහනාධාර

නා.ප්‍ර. උපකාරයක් ලෙස පිරිනමන මූල්‍ය හෝ ද්‍රව්‍යමය ආධාරය

සහභාගිත්වය

නා. සම්බන්ධ වීම; හවුල් වීම

සහලඟුරු

නා.ප්‍ර. දිලිසෙන ගිනි අඟුරු

සහලනවා

ක්‍රි. වෙව්ලනවා; සසලවෙනවා

සහස්‍ර

නා.ප්‍ර. දහස (සං. සහස්‍ර)

සහාධිපත්‍යය

නා. හවුල් අයිතිය; හවුල් පරමාධිපත්‍යය

සහානුභූතිය

නා. එක් ව රසවිඳීම

සහාභිජනනය

නා. සමීප ඥාති සම්බන්ධතා ඇති සතුන් අතර සිදු වන බෝවීම

සහෘදයා

නා. සමාන වූ වින්දනයක් ලබන තැනැත්තා; ප්‍රශස්ත මනසක් ඇත්තා (සං. සහෘද)

සළ

වි. කපටි; කෛරාටික (පා. සඨ සං. ශඨ) නා. ආවර්තය; ජටාව (සං. ජටා)

සළායතනය

නා. චක්ෂුරාදි ආයතනය (පා. සළායතන)

සළාවැටුම

නා. කරකැවීගිය දිය සුළිය (සං. ජටාවර්තය)

සළුඔලියල්

නා.ප්‍ර. තලප්පාව ලෙස හිසේ බැඳි සළුව

සළුපාලිය

නා. යක් තොවිල්වල දී සළුවක් ගෙන කරන නර්තනයක්

සළුපිළි

නා.ප්‍ර. රෙදි හා වස්ත්‍ර

සළුව

නා. අඳින හෝ පොරවන හෝ වස්ත්‍රය; කරවටේ දමන රෙදි කඩ (පා. සාටක)

සළුවඩන නිලමේ

නා. රාජකීය ඇඳුම් ගබඩාවේ ප්‍රධානයා; රජුට ඇඳුම් සපයන්නා

ස්කන්ධ කුමාරයා

නා. කඳ කුමරු; කතරගම දෙවිඳු

ස්කන්ධය

නා. කිසියම් වස්තුවක ඇති පදාර්ථ ප්‍රමාණය; ගොඩ; රාශිය (සං. ස්කන්‍ධ)

ස්තබ්ධ

වි. තදින් එකට බැඳුණු; ශක්තිමත් (සං. ස්කන්‍ධ)

ස්තම්භනය

නා. තද කිරීම; නොසෙල්වෙන බවට පත් කිරීම/ සිවුසැට කලාවන්ගෙන් එකක් (සං. ස්තම්භන)

ස්තම්භය

නා. ටැඹ; කණුව (සං. ස්තම්භ)

ස්තරණය

නා. පැතිරීම/ ඇතිරීම (සං. ස්තරණ)

ස්තරය

නා. තට්ටුව; පස් තට්ටුව (සං. ස්තර)