අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 74

කණ්ඩනය

නා. ගොයම් පෑගීම; වී වෙන් කර ගැනීම (සං. කණ්ඩන)

කණ්ඩරාව

නා. බලනහරය (සං. කණ්ඩරා)

කණ්ඩලම

නා. කණ්ඩායම; සමූහය

කණ්ඩායම

නා. සමූහය; සේනාංකය (දෙ. காண்டம்)

කණ්ඩිය

නා. බැම්ම; ඉවර (දෙ. காண்டி)

කණ්ඩුල

නා.ප්‍ර. ලක්දිව සිටි බිලී වැද්දකුගේ නාමය/ දුටුගැමුණු රජුගේ ඇතාගේ නම

කණ්ණාඩිය

නා. කැඩපත/ උපැස් යුවළ (දෙ. கண்ணாடி)

කණ්හ

වි. කළු; පහත් වූ නා.ප්‍ර. කෘෂ්ණ දෙවි; විෂ්ණු දෙවි; වශවර්තිමාර (පා. කණ්හ)

කණා

නා. දෑස ම හෝ එක් ඇසක් හෝ නොපෙනෙන තැනැත්තා (පා. කාණ)

කණාටු

වි. කෘශ වී උස්ව ගිය; පල දරන කාලය ඉක්ම ගිය

කණිකාව

නා. අංශුව; පොද (පා. සං. කණිකා)

කණිනවා

ක්‍රි. හාරනවා (පා. ඛණති, ඛනති සං. ඛනති)

කණිසම

නා. වේලාව/ හෝරාව (දෙ. கணிசம்)

කණු පොළ

නා. රාත්‍රි කාලයේ ගවයන් බැඳ තැබීමට කණු සිටුවා සකස් කළ ස්ථානය

කණුව

නා. ටැඹ; කුලුන (පා. ඛාණුක)

කණේරු

නා.ප්‍ර. සුදු හෝ රතු හෝ මල් ඇති විෂ සහිත ගසක්

කතා

නා.ප්‍ර. වචනයෙන් අදහස් ප්‍රකාශ කිරීම/ ප්‍රබන්ධය; කතන්දරය (පා. සං. කථා)

කතිකාවත

නා. සම්මුතිය; සංඝ සම්මුති නියමාවලිය (පා. කතිකාවත්ත)

කතිපයාධිකාරය

නා. කිහිප දෙනකුවෙත බලය රැඳී පැවතීම

කතෝලිකයා

නා. රෝමානු දේව සභාවේ සාමාජිකයා (පුර්. catholic)

කථකලි

නා.ප්‍ර. දකුණු ඉන්දියානු නාට්‍ය විශේෂයක් (මල. කතකලි)

කථන පිටපත

නා. කියවීම සඳහා කරන සටහන

කථනය

නා. කීම; ප්‍රකාශ කිරීම (සං. කථන)

කථා ප්‍රබන්ධය

නා. ගොතන ලද කථාව (සං. කථාප්‍රබන්‍ධ)