සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 113

අභිජ්ඣාකායගන්ථ

පු. අභිද්ධ්‍යාකාය ග්‍රන්ථය. (ගන්ථෙන්ති වෙඨයන්තීති ගන්ථා; නාමකායෙන රූපකායං, පච්චුප්පන්නකායෙනවා ආගාමිකායං ගන්ථෙති දුප්පමුඤ්චං වෙඨයතීති කාය ගන්ථො අභිජ්ඣා එව කායගන්ථො අභිජ්ඣා කායගන්ථො. නාමකායය හා රූපකායයද වර්‍තමානකායය හා අනාගතකායයද නොමිදිය හැකි සේ වෙළන හෙයින් අභිද්ධ්‍යාවම අභිද්ධ්‍යාකායග්‍රන්ථ නම් වේ.) (පි. 88)

අභිජ්ඣායති

ක්‍රි. (අභි+ඣෙ. √ භු. චින්තායං, සිතීමෙහි +ති) විෂම ලෝභ සහගත සිතිවිලි සිතයි, සිතයි. (පි. 88)

අභිජ්ඣාලු

ති. (අභිජ්ඣා+ආලු) අභිජ්ඣා බහුල කොට ඇති. (පි. 88)

අභිජ්ඣික

ති. අභිධ්‍යා කරන්නා. (පි. 88)

අභිජ්ඣිත

ති. අභිධ්‍යා කළ. (පි. 88)

අභිජාත

ති. ප්‍රඥා, කුලීන, මහාකුල ඇති, මවුපිය දෙකුලයෙන් පිරිසිදු ව. උපන්.
ති. කුලවත්, වංශවත්. ඉ. ශ්‍රේෂ්ඨ කුලයක ඉපදීම. (පි. 88)

අභිජාතික

ති. කුලවත්, වංශවත්. (පි. 89)

අභිජානන

න. සිහිකිරීම, දැනීම, අනුබෝධය, අනුචින්තනය. (පි. 89)

අභිජානාති

ක්‍රි. (අභි+ඤා. √ කි. අවබොධෙ. අවබොධ කිරීමෙහි, ඤා=ජා+නා+ති) දනී, මනාව දනී. (පි. 89)

අභිජායති

ක්‍රි. (අභි+ජනි. √ දි. පාතුභාවෙ, පහළ වීමෙහි +ය+ති) හටගනී, උපදී, පහළ වෙයි. (පි. 89)

අභිජිගිංසති

ක්‍රි. (අභි+හර. √ භු. හරණෙ, හැරීමෙහි, ‘හ’ හට ‘ජ’ - ඉ. ‘හර’ට ‘ගිං’+ස+ති) දිනනු කැමැති වෙයි. ලෝභී වෙයි. (පි. 89)

අභිජිඝච්ඡති

ක්‍රි. (අභි+ඝස. √ භු. අදනෙ. කෑමෙහි, ‘ඝ’ හට ද්විත්ත ඝ=ඣ=ජ- ඉ. ස=ච. ඡ+ති) කනු කැමැති වෙයි. (පි. 89)

අභිජෙති

ක්‍රි. (අභි+ජි. √ භු. ජයෙ, දිනීමෙහි +ති) දිනයි. ජය ගනී. (පි. 89)

අභිජොතෙති

ක්‍රි. (අභි+ජුත. √ භු. දිත්තියං, බැබලීමෙහි +ති) බබුලුවයි. පිරිසිදු කෙරෙයි. (පි. 89)

අභිඤ්ඤ

ති. දක්ෂ, නිපුණ. (පි. 89)

අභිඤ්ඤා

ඉ. දැනීම, අවබෝධය, පඤ්චාභිඤ්ඤා සහ ඡළභිඤ්ඤා. “විසෙසෙන ජානාතීති අභිඤ්ඤා.” විශේෂයෙන් දනීනුයි අභිඤ්ඤා නම් වේ.
අනාගතංස ඤාණං ච යථා කම්මුපගම්පි ච, පඤ්ච ඉද්ධිවිධාදීනි සත්තාභිඤ්ඤා ඉමා පන. (පි. 89)

අභිඤ්ඤාණ

න. සලකුණ, චිහ්නය. (පි. 89)

අභිඤ්ඤාත

ති. ප්‍රසිද්ධ, ප්‍රකට, අභිඤ්ඤාතා අභිඤ්ඤාතා සක්‍ය කුමාරා.” (පි. 89)

අභිඤ්ඤෙය්‍යධම්ම

පු. අනිත්‍යාදි වශයෙන් විශිෂ්ටාකාරයෙන් දැන ගතයුතු ධර්‍ම. (පි. 89)

අභිඤ්ඤොය්‍ය

ති. දැනගතයුතු, අවබෝධ කටයුතු. (පි. 89)

අභිණ්හං

අ. නැවත නැවත, නිතොර. (පි. 89)

අභිණ්හසො

අ. නිතොර. (පි. 89)

අභිතත්ත

ති. තැවුනු, රත් කළ, ඉතා තැවුනු. (පි. 89)

අභිත්ථනොති

ක්‍රි. (අභි+ථන √ චු. දෙවසද්දෙ මෙඝශබ්දයෙහි +ති) ගුගුරයි, ගොරවයි, කම්පා කරයි. (පි. 89)