සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 4

අක්ඛණ

පු. නුසුදුසු කාලය. (පි. 19)

අක්ඛණවෙධී

පු. විදුලි එළියෙන් විදිනසුලු තැනැත්තා, විදුලි එළිය පහවන්නට ප්‍රථම එම එළියෙන් ඉලක්කාදිය විදීමට සමර්ථයා (පි. 19)

අක්ඛණා

ඉ. විදුලිය, අකුණ, විදුලියක් පවත්නා කාලය. අභාග්‍යය. (පි. 19)

අක්ඛත

ති. (න+ඛත) උපද්‍රවරහිත. නොසාරණලද. ක්ෂය නොකළ. තුවාල නොවූ. නිදොස්. පු. විලඳ. න. නිවන. නොගෙවීම. (පි. 19)

අක්ඛදස්ස

පු. ධර්‍මාධිකරණ ඇමතියා, විනිශ්චයකාරයා, දාදුකෙළියෙහි වියවුල් බේරා දෙන තැනැත්තා, තෝන්කාරයා. (පි. 19)

අක්ඛදුත්ත

පු. අක්ෂධූර්‍තයා, දාදුකෙළියෙහි ලොල් වූ තැනැත්තා. (පි. 19)

අක්ඛදෙවී

පු. දූකෙළින තැනැත්තා, සූදු කාරයා. (පි. 19)

අක්ඛන්ති

පු. නොඉවසීම. (පි. 19)

අක්ඛම

ති. (නත්ථි ඛමා යස්ස) නොඉවසන, ඉවසීම් නැති, අසමර්ථ. පු. වීකුරුල්ලා. ඉ. (න+ඛමා) නොඉවසීම, ක්ෂමා නොකිරීම (පි. 19)

අක්ඛය

ති. (න+ඛය) ක්ෂය නොවන. නොදිරණ. න. නිවන. (පි. 19)

අක්ඛර

පු. (න+ඛර) නක්ඛරන්තීති අක්ඛරා - නොගෙවීම. පු. න. අ ආදි අක්ෂර. නිවන. ති. ස්ථිර, ක්ෂය නොවනදෙය. ප්‍රඥප්තිය, ව්‍යවහාරය. (පි. 19)

අක්ඛරකොසල්ල

න. ස්ථාන කරණ ප්‍රයත්නාදියෙන් ද සිථිල ධනිතාදි දසවිධ ව්‍යඤ්ජනයන් නොපිරිහෙලා කීම් වශයෙන් ද අක්ෂරයන්හි දක්ෂ බව අක්ෂර කෞශල්‍ය නමි. (පි. 19)

අක්ඛරචඤ්චු

පු. අකුරු ලියන තෙලිකූර, පන්හිඳ, පෑන් පැන්සල් ආදිය. (පි. 19)

අක්ඛරචින්තක

පු. වෛයාකරණයා, වියරණ දත් තැනැත්තා. අකුරු ගැන සිතන්නා. (පි. 19)

අක්ඛරරචන

පු. ලිවීම. අක්ෂර වින්‍යාසය. අකුරු රචනා කිරීම, අකුරු ඇමිණීම. (පි. 19)

අක්ඛරවිපත්ති

පු. සිථිල ධනිතාදි දශවිධ ව්‍යඤ්ජනයෙන් අසම්පූර්‍ණ බව. (පි. 19)

අක්ඛරවිපල්ලාස

පු. අක්ෂර විපර්‍ය්‍යාශය, එක් අකුරක් පෙරලා තව අකුරක් යෙදීම. (පි. 19)

අක්ඛරසන්නිපාත

පු. අක්ෂර සන්නිපාතය, අකාර කකාරාදී අක්ෂරයන්ගේ එක් රැස් වීම. (පි. 19)

අක්ඛරාවයව

පු. අක්ෂරයන්ගේ අවයවය, එකාදිමාත්‍රාවයව. (පි. 19)

අක්ඛරික

පු. අහසෙහි හෝ පිටෙහි අකුරු ලියවෙන සේ ක්‍රීඩා කරන්නා. (පි. 20)

අක්ඛරිකා

ඉ. අහසෙහි හෝ පිටෙහි අකුරු ලියවෙන පරිදි කරන ක්‍රීඩාවක්. (පි. 20)

අක්ඛවාට

න. ක්‍රීඩාභූමිය අවට කරන ආරක්ෂාව, වැට (පි. 20)

අක්ඛාත

ති. (ආ+ඛා+ත) ප්‍ර‍කාශකළ, කියන ලද (පි. 20)

අක්ඛාතු

පු. කියන්නා, ප්‍ර‍කාශකරන්නා, දෙසන්නා (පි. 20)