සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1000

පරාමිති සමීකරණය

(පාරිභා.) නා. ඛණ්ඩාංක පරාමිතියක් විසින් පාලනය කෙරෙන සමීකරණය.

පරාමිතිය

(පාරිභා.) නා. කිසියම් ලක්ෂ්‍යයක් හෝ ඒ ගණයේ ම සමූහයකින් රේඛාවක්, රූපයක් වෙන් කොට හඳුන්වා දීමට උපයෝගී කර ගන්නා රේඛාව නොහොත් රූපය.

පරායණ

වි. ඈඳුණු ; පිහිට කොට ඇති ; සරණ ගිය.
නා.ප්‍ර. පිහිට; ප්‍රතිෂ්ඨාව ; සරණ ; තද ඇල්ම.

පරායණය

(පාරිභා.) නා. දිගපළල ; අයවිතර ; විස්තාරය.

පරායත්ත

වි. අනුන්ට අයත් ; අන් සතු ; පරාධීන.

පරාර්ථකාමී

වි. මෙරමා හිත වැඩ කැමති ; අනුන්ට සෙත සැලසීමේ අභිලාෂී.

පරාර්ථචර්යාව

නා. අනුන්ගේ යහපතෙහි යෙදීම ; මෙරමාගේ හිතසුව සැලසීම ; අන්‍යයන්ගේ අභිවෘද්ධිය ගෙන දීම.

පරාර්ථය

නා. අනුන්ගේ යහපත ; මෙරමාගේ හිතසුව ; අන්‍යයන්ගේ අභිවෘද්ධිය.

පරාලය

නා. ගෙයක මුදුන් යටලීයේ සිට පියසි අග දක්වා සම දුරකින් රීප්ප දැමීම සඳහා සවි කරන ලීය.

පරාවක්‍රය

(පාරිභා.) නා. වෙඩි උණ්ඩ, රොකට්ටු ආදිය අවකාශයෙහි ගමන්ගන්නා වක්‍රීය මාර්ගය.

පරාවර්ත

ක්‍රි.වි. ආපසු පෙරළෙන ; ආපසු හෝ වෙනත් දිසාවකට හෝ හැරෙන ; පෙරළා විහිදෙන.

පරාවර්ත කෝණය

(පාරිභා.) නා. අංශක 180ට වැඩි අංශක 360ට අඩු කෝණය ; ආපසු හැරවුණු කෝණය.

පරාවර්තකය

(පාරිභා.) නා. අවශ්‍ය දිශාවකට ආලෝකය හෝ තාපය හෝ පරාවර්තනය කරන පරිදි හැඩ ගැසූ දිලිසෙන පෘෂ්ඨය.

පරාවර්තනය

(පාරිභා.) නා. 1. ආපසු හෝ අනෙක් දිසාවකට හෝ හැරීම.
2. ආලෝකය ගමන් කරන දිශාවෙන් වෙනත් අතකට හැරීම හෝ හැරවීම.

පරාවර්තිත කෝණය

(පාරිභා.) නා. පරාවර්තනය වන ආලෝක කිරණයත් පතන ලක්ෂ්‍යයේ අභිලම්බයත් අතර සෑදෙන කෝණය.

පරාවලය

(පාරිභා.) නා. දෙන ලද නියත තත්ත්වයක් යටතේ ගමන් කරන ලක්ෂ්‍යයක අණ්ඩාකාර පථය.

පරාවින්දනය

(පාරිභා.) නා. සාමාන්‍ය තත්ත්වයට වැඩි සංවේදිතාව ; අධික සංවේදනය.

පරාවෘත්ත

වි. ආපසු කැරකැවෙන ; පෙරළෙන.

පරාසය

නා. පැතුරුණු විශාල ප්‍රදේශය ; වෙඩිල්ලක් ගමන් කරන දුර ප්‍රමාණය ; විශ්වාසදායී ලෙස සංඥා යැවිය හැකි දුර.

පරාස්සයා

නා. සාමාන්‍ය රාස්සයන්ට වඩා බලවත් රකුසා.

පරාසුව

නා. ලොකු හතරැස් බෝතලය ; පරාස්කුව.

පරාසෝවා

(පාරිභා.) නා.ප්‍ර. පටක තට්ටු දෙකකින් පමණක් සෑදුණ ශරීරයක් ඇති, ස්නායු පද්ධතියක් නැති බහු ශෛලීය සත්ව වර්ගය.

පරි

අව්‍ය. හාත්පස, අවට, ඔබමොබ, අතිශය, සම්පූර්ණයෙන් ආදි අර්ථවල යෙදෙන උපසර්ග අතුරෙන් එකක්.

පරිකල්ප ගර්භය

නා. දරුවකු කුසේ නොපිළිසිඳි නමුත්, එවැන්නක් වී ඇති බවට ලකුණු පෙනීම ; මූඪ ගර්භය.