සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1019

පහන් තරුව

නා. රෑ අවසන් යාමයෙහි පායන සිකුරු තරුව ; ඉරබටු තරුව.

පහන් දඹුව

නා. දැල්වෙන පහනක පහන්තිරයේ දැවී ගිය කොටස.

පහන් දරණය

නා. පහනක් දරා සිටින උපකරණය හෝ කොටස.

පහන් පූජාව

නා. බුද්ධාදී උතුමන් වෙනුවෙන් පහන් දැල්වීමෙන් කරන පූජාව ; අලෝක පූජාව.

පහන් සංවේගය

1. නා. ප්‍රසන්න භාවය හා කලකිරුණු බව.
2. සතුට, පැහැදීම, ප්‍රසාදය ආදිය නිසා සිතේ ඇතිවන හැඟීම.

පහන් සිළු පරීක්ෂාව

(පාරිභා.) නා. බන්සන් දැල්ලෙහි ඇති කරන පාට අනුව මූල ද්‍රව්‍ය හඳුනා ගැනීම සඳහා කරන අත්හදා බැලීම.

පහන් සිළු මෝස්තරය

(පාරිභා.) නා. ගෙතුම් මෝස්තරයක් ; පහන් දැල්ලක් මෙන් පෙනෙන පරිදි කරනු ලබන ගෙත්තම.

පහන්තිර වියමන

(පාරිභා.) නා. විශේෂයෙන් ඇඳ ඇතිරිලි සඳහා වියමන් මෝස්තරයක්.

පහයනවා

1. ක්‍රි. ආලෝකවත් කරනවා ; එළිය කරනවා ; පැහැපත් කරනවා.
2. නිර්මල කරනවා ; පිරිසිදු කරනවා.
3. ශුද්ධ කරනවා ; හෙළිපෙහෙළි කරනවා.
4. සතුටු කරනවා ; පහදවනවා.
5. පාදනවා ; අනාවරණය කරනවා.
6. ප්‍රකට කරනවා ; පැහැදිලි කරනවා.
7. විස්තර කරනවා.

පහයින් පත

නා. ප්‍රසාධන කටයුතු සඳහා ගැනෙන කන්නාඩිය ; කැටපත ; කැඩපත.

පහරනවා

1. ක්‍රි. පහරදෙනවා ; ගහනවා.
2. ගාවනවා ; ස්පර්ශ කරනවා.
3. රිදවනවා ; රුජා ඇතිකරනවා.
4. උදුරාගන්නවා ; කොල්ල කනවා.
5. විහිදනවා ; දික්කරනවා.
6. මලපහ කරනවා.

පහස

නා. කායෙන්ද්‍රියයෙන් වින්ද යුතු ගුණය ; ස්පර්ශය ; හැපීම ; වැදීම ; ගැටීම.

පහසනවා

ක්‍රි. සම්බන්ධ කරනවා ; ගළපනවා ; පාස්සනවා.

පහසු

1. වි. අමාරු නැති ; අවකාශ ඇති ; කරදර නැති ; ලේසි.
2. පීඩාවකින් සුවය ලැබීමෙන් සැප වේදනා දැනෙන.

පහසුකම් ගාස්තු

නා.ප්‍ර. ක්‍රීඩා, පුස්තකාලය ආදී අතිරේක පහසුකම් සැලසීම සඳහා පාසැල් ශිෂ්‍යයන්ගෙන් අය කරන ගාස්තු.

පහළ

1. වි. ඇති වූ ; හටගත් ; උපන්.
2. අඩු තත්ත්වයෙන් හෝ ස්වභාවයෙන් හීන ; පහත්
3. යට පෙදෙසෙහි වන ; යට ; පාත ; පහත.
4. ගසන ලද ; තළන ලද ; පහරදෙන ලද.
5. පහ කළ ; ඉවත් කළ.
නා.ප්‍ර. පහත් තැන ; පහත් ප්‍රදේශය.

පහළ අචල ලක්ෂ්‍යය

(පාරිභා.) නා. උෂ්ණත්ව මානයක පහළ ස්ථිරාංකය.

පහළ අපිචර්මය

නා. ශාක පත්‍රයක චතූර්වර්ග පටක අතරින් එකක් ; කොළවල යටි පැත්තේ පිහිටි ඒක සෛල පටකය.

පහළ උසාවිය

නා. අධිකරණ බලතල අඩු උසාවිය ; පහළ ශ්‍රේණියකට අයත් උසාවිය.

පහළ පන්තිය

1. නා. තත්ත්වයෙන් හෝ ස්වභාවයෙන් හෝ අඩු වෘත්තීය ශ්‍රේණිය ; අඩු තක්සේරුවක් ඇති පෙළ හෝ වර්ගය ; උසස් නොවන පංතිය.
2. පාසලක ප්‍රාථමික අංශයට අයත් ශ්‍රේණිය ; ඉහළ ශ්‍රේණියකට පූර්වයෙන් වන ශ්‍රේණිය හෙවත් පංතිය.

පහළොස් පැය

(කථා.) නා. රැය උදාවීමෙන් අනතුරුව එළඹෙන පහළොස් වැනි පැය ; මධ්‍යම රාත්‍රිය.

පහා

නා.ප්‍ර. ප්‍රාසාදය ; පාය.

පහාණ ආඥාව

(පාරිභා.) නා. ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලිඛිත ව නිකුත් කරන ආඥාව.

පහිණපත

1. නා. (යමකූ උදෙසා කරන) ආවතේව ; මෙහෙවර.
2. පණිවිඩය ; ලිපිය.