සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1020

පහිනවා

ක්‍රි. ප්‍රහීණ කරනවා ; දුරු කරනවා ; නැති කරනවා.

පහුර

1. නා. ලී කොට කීපයක් එක්කොට බැඳ සාදාගන්නා ජලයාත්‍රා විශේෂයක්.
2. උස් වු බැම්ම ; ප්‍රාකාරය ; පවුර.
3. (පාරිභා.) ශාකවල ඇති උඩට නැගීමට උපකාරී වන මුල් වැනි ආරෝහක අවයවයක්.

පළ

1. නා.ප්‍ර. තැන ; ස්ථානය ; පිහිටි තැන.
2. පීඩාව ; පෙළීම. වි. ප්‍රකට ; පැතුරුණු ; ව්‍යාප්ත.

පළ කරනවා

ක්‍රි. ප්‍රකට කරනවා ; ප්‍රකාශ කරනවා ; ප්‍රසිද්ධ තෝරා කරනවා ; මුද්‍රණයෙන් (පත් පොත් ආදිය) ප්‍රචාරය කරනවා.

පළනවා

ක්‍රි. කැබලි කරනවා ; කොටස්වලට වෙන් කරනවා ; පුපුරවනවා.

පළමු

වි. මුල් ; මුලින් ඇති ; ප්‍රථම ; දෙවැනි නොවන.

පළමුවන බලය

(පාරිභා.) නා. සංඛ්‍යාවක මුල් අගය ; ගුණ නොවූ සංඛ්‍යාව.

පළල

1. නා. දිගට විරුද්ධ මානය ; හරස් අතට ඇති මිම්ම; ත්‍රිමාණයෙන් එකක්.
2. හරස් අතට ප්‍රමාණයෙන් යුක්ත බව ; පුළුල ; පටු නොවූ බව.

පළාත

1. නා. රටක පරිපාලනය සඳහා බෙදා වෙන් කරන ලද භූමි ප්‍රදේශ ඒකකයක් ; ශ්‍රී ලංකාවේ විශාලතම පරිපාලනය කොට්ඨාසය.
2. අවට පෙදෙස , ප්‍රදේශය ; අසල්වාසිය.

පළාත්

වි. පළාතක් සම්බන්ධ ; ප්‍රාදේශික.

පළාත් ආණ්ඩුව

නා. මහනගර, නගර, නියම් ගම්, ගම් ආදියේ පොදු කටයුතු පාලනය කිරීමේ සංවිධානය ; ප්‍රාදේශීය පාලන තන්ත්‍රය.

පළි ගන්නවා

ක්‍රි. කරන ලද වරදකට හිලව් වශයෙන් පෙරළා වරද කරනවා ; වරදට වරදින් පිළිතුරු දෙනවා.

පළිඟු දිය

නා.ප්‍ර. ඉතා පැහැදිලි පිරිසිදු ජලය ; ද්‍රව වූ පළිඟු මෙන් පිරිසිදු දිය.

පළිප්පු දමනවා

ක්‍රි. ඔප දමනවා ; දීප්තිමත් කරනවා ; පිරිසිදු කරනවා.

පළිබෝධය

නා. හිරිහැරය ; කරදරය ; පීඩාව ; අවහිරය.

පළු

1. නා.ප්‍ර. පියලි ධාන්‍ය වර්ගයක්.
2. පතුරු ; තහඩු ; පත්‍ර.
3. ගසක දළුව ; අංකුරය.

පළුදු

1. නා.ප්‍ර. වැරැද්ද ; අඩුපාඩුව ; දෝෂය.
2. කැළල ; ලපය.

ප්රුක්ටෝස්

(පාරිභා.) නා.ප්‍ර. පැණි රස පලතුරු ඉස්මෙහි අඩංගු සීනි විශේෂයක්.

ප්ලයිස්ටෝසීන අවධිය

(පාරිභා.) නා. ප්ලයෝසීන අවධියට පසු ව ඇති වූ භූ යුගය ; මහා අයිස් යුගය.

ප්ලයොසීන අවධිය

(පාරිභා.) නා. මයෝසීනයට පසු ව ද ප්ලයිස්ටෝසීනයට පෙර ද පැවතුණු භූ යුගය.

ප්ලව

වි. ජලයේ පාවෙන ; ඉල්පෙන ; පීනන.

ප්ලවංගම

වි. පැන පැන යන.
නා.ප්‍ර. පැන පැන යන්නා ; වඳුරා.

ප්ලවය

1. නා. මුහුදු ගංගා ආදියෙහි යාම්-ඊම් සඳහා උපයෝගී වන යාත්‍රාව ; නැව.
2. පීනන සතුන්ගේ මස්.
3. මුහුදු ගංගා ආදියෙහි ද, තොටවල ද නියම තැන්වල නැව් ආදිය රඳවා ගැනීම හෝ අනතුරු ඇඟවීමේ සංඥා දැක්වීම් ආදි ප්‍රයෝජන සඳහා ජලයේ පාවීමට සලස්වන උපකරණයක් ; බෝයාව.

ප්ලවාංග

වි. ජල පත්ලට නොඇලී පාවෙමින් ඇති සතුන් හා පාසි ශාක.