සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1034

ප්‍රතිනන්දනය

නා. සතුටින් පිළිගැනීම ; (අනුමත කිරීම් වස්) පෙරළා පැසසීම.

ප්‍රතිනමනය කරනවා

ක්‍රි. අධිකරණ විනිශ්චයක දී දෙන ලද තීරණය වෙනස් කරනවා ; නීතිමය කරුණු වඩාත් විමසිල්ලට ලක් කරමින්, මුල් තීන්දුවකට ප්‍රතිවිරුද්ධ තීරණයක් දීමට කටයුතු යොදනවා.

ප්‍රතිනාදය

1. නා. ප්‍රතිරාවය ; ප්‍රතිධ්වනිය ; දෝංකාරය.
2. (පාරිභා.) පරාවර්තන පෘෂ්ඨ දෙකක් අතරේ ශබ්දයක් නිකුත් කරනු ලැබූ විට, එක පෘෂ්ඨයකින් අනෙක් පෘෂ්ඨයට කීප වාරයක් පරාවර්තනය වන ශබ්දය.

ප්‍රතිනායකයා

නා. විරුද්ධ (කථා) නායකයා ; සාහිත්‍ය කථා වස්තුවක එන චරිත අතුරින් කථා නායකයාට එරෙහි ව කටයුතු කරමින් විරුද්ධ ව නැගී සිටින චරිතයෙන් පිළිබිඹු වන තැනැත්තා.

ප්‍රතිනිධි

වි. යමකු වෙනුවට පෙනී සිටින ; නියෝජිත ; නිරූපක ; ප්‍රතිපුරුෂ.
1. නා.ප්‍ර. ප්‍රතිබිම්බය ; ප්‍රතිමාව.
2. යමක් වෙනුවට එහි කාර්යය පිරිමැසෙන සේ යොදා ගන්නා ඊට අනුරූප ගතිගුණ, බල ස්වරූප ඇති දෙය.
3. ඇපය.

ප්‍රතිනිධියා

1. නා. යමකු වෙනුවට පෙනී සිටින්නා ; ආදේශකයා ; යමකට අයත් හෝ යමකුගේ ලක්ෂණ පිළිඹිඹු කරන්නා.
2. උපරාජයා ; ප්‍රතිරාජයා ; රජු වෙනුවට පෙනී සිටින්නා.

ප්‍රතිනියත

වි. ඒකාන්තයෙන් නියම වූ ; නියම කර ඇති ; නිශ්චිත.

ප්‍රතිනියතවාදියා

නා. සියලු දෙය ම කර්මයෙන් හෝ ප්‍රකෘතියෙන් වන්නේ යැයි සලකනු ලබන විරුද්ධවාදියා ; කර්මය තමාට යටත් කර ගැනීමට උගන්වන ප්‍රතීත්‍ය සමුත්පාද ධර්මයට පටහැනි මත දරන්නා.

ප්‍රතිනිවෘත්ත

වි. ඉවත් කළ ; අහක් කළ ; අපාවර්තනය වූ.

ප්‍රතිපක්ෂ

1. වි. සතුරු ; විරුද්ධ.
2. අසමාන ; එක්බඳු නොවන.

ප්‍රතිපක්ෂයා

1. නා. විරුද්ධවාදියා ; පසමිතුරා.
2. නඩුවක විත්තිකාරයා ; වගඋත්තරකාරයා.

ප්‍රතිපත්ති ප්‍රකාශනය

1. නා. යම්කිසි ක්‍රියා පටිපාටියක් සඳහා කළ යුතු විධිය මේ යැයි දක්වන නිවේදනය.
2. (නව.) දේශපාලන පක්ෂයක් ස්වකීය පාලනය හා සම්බන්ධ ව අනුගමනය කිරීමට අදහස් කරන ක්‍රියා පටිපාටිය පිළිබඳ කරුණු ඡන්ද දායකයන්ගේ දැනගැනීම සඳහා ඉදිරිපත් කොට දක්වන නිවේදනය.

ප්‍රතිපත්තිය

1. නා. පිළිපැදීම ; පිළිවෙතක් අනුව ක්‍රියාකිරීම ; පිළිපැදීමේ මාර්ගය ; සම්මත පිළිවෙත.
2. (ප්‍ර. යෙදේ) බුද්ධධර්මය අනුව පිළිපැදීම ; බුද්ධ දේශනා අනුව ජීවිත පැවැත්ම ; ප්‍රතිපත්ති ශාසනය ; ත්‍රිවිධ ශාසනයෙන් එකක්.

ප්‍රතිපථය

1. නා. ඉදිරියෙහි ඇති මාර්ගය ; පෙර මඟ.
2. විරුද්ධ මාර්ගය.

ප්‍රතිපදය

නා. අර්ථය පැහැදිලි කරන දෙය ; අර්ථාවබෝධක පදය.

ප්‍රතිපදාව

1. නා. පිළිපැදීම ; පැවැත්ම ; පිළිවෙත.
2. ක්‍රමය ; මාර්ගය.

ප්‍රතිපන්න

1. වි. පිළිපන් ; බැසගත් ; පැමිණි.
2. අවබෝධ කළ.

ප්‍රතිප්‍රමාණ කිරීම

නා. (ආර්ථි.) ව්‍යවහාර මුදල්වල හුවමාරු වටිනාකම් වෙනස් කිරීම.

ප්‍රතිප්‍රහාරය

නා. ආපසු පහර දීම ; පෙරළා දෙන පහර.

ප්‍රතිප්‍රාන්ත

වි. (භූගෝ.) කඳු බෑවුම්වල උඩු අතට නැඹුරු.

ප්‍රතිපාදක

1. වි. සම්පාදනය කරන ; සපයා දෙන ; ප්‍රතිපාදනය කරන.
2. විධායක ; විධානය කරන ; දක්වන ; පෙන්නා දෙන ; හඟවන.
3. පරිපාලක ; පාලක ; පරිපාලනය හා සම්බන්ධ.

ප්‍රතිපාදනය

1. නා. සාදා ගැනීම ; අත්කර ගැනීම ; ඇතිකර ගැනීම.
2. පැවරීම ; බාර කිරීම ; පාවා දීම.
3. ඇති කිරීම ; ඉපිදවීම ; ජනනය.
4. යෙදීම ; යුක්ත කිරීම ; ඇතුළත් කිරීම ; අන්තර්ගත කිරීම.
5. පිළියෙළ කිරීම ; සකස් කිරීම ; සම්පාදනය.
6. තේරුම් ගැනීම ; වටහා ගැනීම
7. දැක්වීම ; නිරූපණය ; උද්දේශ කිරීම.
8. ප්‍රස්තුතයක් ඔප්පු කිරීම සඳහා අදාළ ක්‍රියාවලිය පෙන්නුම් කිරීම; උපපාදනය ; සුවිදර්ශනය.
9. (යම්කිසි කාර්යයක් සඳහා මුදලක්) වෙන් කිරීම ; සැපයීම.
10. අවබෝධ කර ගැනීම ; සාක්ෂාත් කිරීම.

ප්‍රතිපාදනා

1. නා.ප්‍ර. වටහා ගැනීම ; අවබෝධය.
2. ඉගැන්වීම.
3. සම්පාදනය.

ප්‍රතිපාද්‍ය

1. වි. ප්‍රතිපාදනය කටයුතු ; පිළියෙළ කටයුතු.
2. විස්තර කරනු ලබන ; සාකච්ඡා කළ යුතු.