සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1035

ප්‍රතිපීඩනය

නා. (භෞති.) පස්සට තෙරපීම; පීඩනය.

ප්‍රතිඵලය

1. නා. විපාකය හේතුවක් නිසා ඇති වන ඵලය.
2. ප්‍රයෝජනය ; අර්ථසිද්ධිය ; ලාභය.

ප්‍රතිබද්ධ

1. වි. සම්බන්ධ ; අයිතිය පිළිබඳ වූ.
2. බැඳුණු ; ඇලුණු; ආශා කළ.
3. (ගණිත.) එකට බැඳුණු ; සංකීර්ණ සංඛ්‍යා දෙකක තාත්ත්වික කොටස සමාන වූ ද අතාත්වික කොටස සමාන එහෙත් ප්‍රතිවිරුද්ධ ලකුණින් යුක්ත වූ.

ප්‍රතිබද්ධතා සිතියම

නා. (සත්ව.) වර්ණ දේහයෙහි ජාන පිහිටි අන්දම පෙන්වන සිතියම.

ප්‍රතිබන්ධ

1. වි. බාධා සහිත වූ ; වළක්වන ; හරස් වූ.
2. අන්‍යෝන්‍ය වශයෙන් බැඳී පවත්නා ; එකිනෙකට සම්බන්ධ.

ප්‍රතිබන්ධන මූලධර්මය

නා. (නීති.) හවුල් ව්‍යාපාර ආදියේ දී කෙනෙකුගේ අනුදැනීම ඇති ව ඔහු වෙනුවෙන් නියෝජනය කරන්නකුට නැවත කිසිවිටක දී ඒ නියෝජ්‍යත්වය ප්‍රතික්ෂේප කිරීමට අවසරයක් නැති බව ප්‍රකාශිත මූලධර්මය.

ප්‍රතිබලය

1. නා. සුදුසු බලය ; සමර්ථ බලය ; ශක්තිමත් බව.
2. සතුරු බලය ; විරුද්ධවාදී බලය.

ප්‍රතිබාධා

නා.ප්‍ර. එරෙහි ව එන බාධාව.

ප්‍රතිබාහනය

නා. වැළැක්වීම ; මැඩ පැවැත්වීම; දුරු කිරීම; පහ කිරීම ; ඉවත් කිරීම.

ප්‍රතිබිම්බය

1. නා. පුද්ගලයකුගේ හෝ ද්‍රව්‍යයක හෝ හැඩය විදහා දැක්වෙන රූපය ; පිළිමය ; ප්‍රතිමාව ; පිළිරුව ; මූර්තිය.
2. ඡායාව ; සෙවණැල්ල ; දර්පණතල පළිඟු ආදිය තුළින් කිරණ මඟින් දිස්වන රූපය.
3. යම්කිසි සමානත්වයක් දක්වන චිත්‍රය හෝ රූපය.
4. සංකල්ප වර්ණනාදිය ඇසුරින් ගොඩනැගෙන මනෝමය රූපය.

ප්‍රතිබෝධය

නා. අවබෝධය ; වැටහීම ; දැනගැනීම ; තේරුම් ගැනීම.

ප්‍රතිභා චින්තනය

නා. යමක් වටහා ගැනීමේ ශක්තිය ඇති සිතිවිල්ල.

ප්‍රතිභා ඥානය

(පාරිභා.) නා. (දර්ශන.) කිසිම තර්ක ක්‍රමයකින් නොබැඳී යම් වස්තුවක් වහා මනසින් තේරුම් ගැනීමේ ශක්තිය ; හුදු බුද්ධියෙන් පමණක් ම ක්ෂණික ව අවබෝධ කර ගැනීමේ හැකියාව.

ප්‍රතිභාගය

1. නා. සමාන වන දෙය ; සමවන කාරණය.
2. පසු කොටස ; භාගය.
3. (පාරිභා.) (ආර්ථි.) දීමනාව ; වේතනය.

ප්‍රතිභානය

නා. ස්වභාවයෙන් පිහිටි වැටහීම ; ප්‍රබෝධයට පැමිණෙමින් උපදන ප්‍රඥාව ; ප්‍රතිභාව.

ප්‍රතිභාව

1. නා. වැටහීමේ නුවණ ; බුද්ධිමය හැකියාව.
2. අපූර්ව ව වටහා ගැනීමේ චෛතසික ශක්තිය ; නිර්මාණ ශක්තිය.
3. බැබළීම ; දීප්තිය.
4. (දර්ශන.) සැකෙවින් දක්වන පැහැදිලි කිරීම ; ලුහුඬු විවරණය.

ප්‍රතිභාසය

1. නා. වැටහීම ; තේරුම් ගැනීම.
2. මනසින් දැකීම ; පෙනීම ; දැකීම ; දර්ශනය.

ප්‍රතිභින්න

වි. බෙදුණු ; වෙන් වූ ; කඩ කරන ලද.

ප්‍රතිමණ්ඩිත

1. වි. යුක්ත ; සමන්විත ; සැකසුණු ; පිළියෙළ වුණු.
2. සැදුණු ; සැරසුණු ; ශෝභන වූ ; අලංකෘත ; විභූෂිත.

ප්‍රතිමල්ල

වි. විරුද්ධ ; සතුරු ; තරගකාර.

ප්‍රතිමා ශිල්පය

නා. සිවුසැට කලාවලින් එකක් වන පිළිම නිර්මාණය පිළිබඳ කාර්යය ; ඒ සම්බන්ධ කලාව.

ප්‍රතිමානනය

නා. බුහුමන් දැක්වීම; ගරු කිරීම.

ප්‍රතිමාලය

[ප්‍රතිමා + ආලය]
නා. පිළිම ගෙය.

ප්‍රතිමාව

නා. අඹන ලද රූපය ; පිළිමය ; පිළිරුව ; අනුරුව.