සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1036

ප්‍රතිමුක්ත

1. වි. මිදුණු ; මුදනා ලද ; අත්හළ.
2. බැඳුණු ; එතුණු.
3. ඒ මේ අතට විසි කරන ලද.

ප්‍රතිමූර්තිය

1. නා. හාත්පසින් ම සමාන වූ රූපය ; ප්‍රතිරූපය ; පිළිබිඹුව.
2. (පාරිභා.) පිටපත ; සමාන දෙය.

ප්‍රතියත්නය

නා. නොපසුබට උත්සාහය.

ප්‍රතියෝග

1. වි. විරුද්ධ ; විරෝධි.
2. වෙන් වූ ; වෙන් වෙන් වශයෙන් යෙදෙන.

ප්‍රතියෝජකය

(පාරිභා.) නා. (භෞති.) 1. ප්‍රබල විද්‍යුත් ධාරාවක් පාලනය කිරීම සඳහා කුඩා විද්‍යුත් ධාරාවක් හෝ වෙන යම් දුර්වල බලයක් උපයෝගී කරගන්නා උපකරණය.
2. ස්ටාටර් ස්විච්චය ක්‍රියා කළ විට පරිනාලිකාව ඔස්සේ ස්වයංක්‍රීය ලෙස විදුලිධාරාව ගලා යෑම සඳහා පරිනාලිකා පථයෙහි ඇති කොටස.

ප්‍රතියෝජනාව

නා. එක් පක්ෂයක් තවත් පක්ෂයකට ඉදිරිපත් කරන යෝජනාවක් පිළිගැනීම වෙනුවට යෝජක පක්ෂයට ඉදිරිපත් කරන නව යෝජනාව.

ප්‍රතිරක්තහීනතා

වි. ලේවල හිමොග්ලෝබීන් අඩුවීම (නීරක්තිය) නැති කරන.

ප්‍රතිරක්ෂණය

1. නා. ආරක්ෂාව සුරැකීම.
2. (පාරිභා,) ආරක්ෂණය ; රක්ෂකයා, වාරිකය නමින් හැඳින්වෙන එක්තරා වාර හෝ නිශ්චිත මුදල් ප්‍රමාණයක් පිළිබඳ වූ ප්‍රතිෂ්ඨාවක් මත ගොඩනැගිලි ගින්නෙන් විනාශ වීම ආදිය හේතු කොට ගෙන විය හැකි එක්තරා පාඩු ප්‍රමාණයක් වෙනුවෙන් අන්‍යයාට ලබා දීමට භාර ගැනීම.

ප්‍රතිරාජ

1. නා.ප්‍ර. පුරාණ සිංහල රජ සමයෙහි ප්‍රදානය කරන ලද ඉතා උසස් තනතුරක්.
2. යුවරජ ; උපරජ.
3. යටත් විජිතයක් භාරව කටයුතු කිරීම සඳහා ඒ ඒ රාජ්‍යවලින් පත් කර එවන නියෝජිතයා.
4. විරුද්ධ රජ ; ප්‍රතිපක්ෂ රජ.

ප්‍රතිරූඪ

නා.ප්‍ර. වැඩීම ; වර්ධනය.

ප්‍රතිරූප

1. වි. සමාන ; ඒකාකාර; සදෘශ.
2. සුදුසු ; යෝග්‍ය ; ගැළපෙන.
නා.ප්‍ර. යමක් නිරූපණය කිරීම සඳහා අඳින චිත්‍ර ; සමාන රූප ; පිළිරූ.

ප්‍රතිරූපක

1. වි. සමාන රූපයක් ඇති ; ස්වරූපය නිරූපණය කරන ; අනුරූප වූ ; සදෘශ්‍ය වූ
2. සමානව පෙනෙන.
3. ව්‍යාජ ආකාරයෙන් පෙනී සිටින.

ප්‍රතිරූපකරණය

නා. යමක් නිරූපණය කිරීම සඳහා චිත්‍රයට නැඟීම ; යමක් ඒ ආකාරයෙන් ම ඇඳීම.

ප්‍රතිරූපී

1. වි. සමාන රුවක් දක්වන ; සාදෘශ්‍ය.
2. (රසා.) යම්කිසි වස්තුවක් කැඩපතක දක්වන ප්‍රතිබිම්බයට සමාන සම්බන්ධතාවක් පෙන්නුම් කරන.

ප්‍රතිරෝධක ශක්තිය

(පාරිභා.) නා. (ඕනෑම ප්‍රතික්‍රියාවකට) ඔරොත්තු දීමේ හැකියාව ; (ප්‍රතික්‍රියා ආදිය) මැඩලීමේ බලය.

ප්‍රතිරෝධකය

(පාරිභා.) නා. (භෞති.) 1. විද්‍යුත්ධාරා ගලා යෑමට බාධා කිරීම සඳහා භාවිත කරන උපකරණය.
2. මෝටර් රථ නියාමකවල සාදා ඇති විදුලි සංරචකය.

ප්‍රතිරෝධය

(පාරිභා.) නා. 1. (භෞති.) යම්කිසි වස්තුවක් ඔස්සේ විද්‍යුත් ධාරාවක් ගලා යෑම පිළිබඳව බාධක තත්ත්වයක් ඇති කිරීමේ ගුණය ; විද්‍යුත් ධාරා ගමනට ඇති කරන බාධාව.
2. අවහිරය ; බාධාව ; විරෝධය පෑමේ ස්වභාවය.

ප්‍රතිරෝපණය

නා. සිටුවන ලද පැළෑටි උදුරා නැවත සිටුවීම.

ප්‍රතිලබ්ධ

වි. ලබාගත් ; අත්කර ගත් ; අවබෝධයෙන් ලැබූ.

ප්‍රතිලම්බනය

නා. එල්බ සිටීම ; ඇලී සිටීම.

ප්‍රතිලාභය

1. නා. ලැබීම ; අත්කර ගැනීම ; ලබා ගැනීම.
2. අවබෝධ කර ගැනීම ; අවබෝධයෙන් ලබා ගැනීම ; ප්‍රතිවේධය ; අධිගමය.
3. (පාරිභා.) ලාභාංශ අපේක්ෂාවෙන් යම්කිසි මුදලක් යොදා කරන ව්‍යාපාරයකින් ලැබෙන ලාභය.

ප්‍රතිලාභියා

(පාරිභා.) නා. (නීති.) 1. යම් අයකුගෙන් උරුමයක් හෝ උපකාරයක් ලබන්නා ; අර්ථලාභියා.
2. අන්තිම කැමති පත්‍රයකින් හිමිකම් ලබන්නා.

ප්‍රතිලෝම

1. වි. යථා ක්‍රමයට අනුකූල නොවූ ; නියම පිළිවෙළ ඉක්ම වූ ; ක්‍රමානුගත නොවූ.
2. අග පටන් මුල දක්වා වන අන්තයෙහි පටන් ආදියෙහි දක්වා වන.

ප්‍රතිලෝමනය

1. නා.ප්‍ර. අග පටන් මුල දක්වා පිළිවෙළින් ගැනීමේ ක්‍රමය ; අන්තය පටන් ආදිය දක්වා ක්‍රමානුකූලව ගන්නා පිළිවෙළ ; පංච මහා නයෙන් එකක්.
2. (පාරිභා.) යමක ප්‍රතිෂේධය වන අනිකකින් නිගමනය කරන ප්‍රස්තූතය.