සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1076

පාසු

1. වි. කරදර පීඩා නැති ; අමාරුවක් නැති ; අවකාශ ඇති ; පහසු.
2. රෝගයකින් ව්‍යාධියකින් පීඩා විඳ ලබන සුවය නිසා සැප වේදනා දැනෙන.

පාහර

වි. පහත් ; නීච ; ජඩ ; නින්දිත.

පාහිනවා

ක්‍රි. ධාන්‍ය ඇටවල කුඩ්ඩ ඉවත් කරනවා ; හාල්වල නිවුඩු හරිනවා ; ශුද්ධ කරනවා ; ගසක අතු කපනවා ; අත්තක කොළ සහිත නටු කපා හරිනවා.

පාහුරුව

නා. පාදයේ ක්‍රියාකාරිත්වය ; ගමන ; පාදයේ හුරුකම.

පාළු

වි. හිස් ; ශුන්‍ය ; ජනශූන්‍ය.

පාළුපස

නා. ඛනිජ සහ පෝර නැති නිසරු පස.

පාළුව

1. නා. හිස් බව ; ජනාවාසයන්ගෙන් තොර බව ; නිහඬකම.
2. ගොවිතැන් ආදියෙහි අස්වැන්න නැතිවීම.

පැංචා

නා. පොඩි කොලුවා ; පිරිමි දරුවා ; පිරිමි ළමයා.

පැකිලෙනවා

1. ක්‍රි. හැපෙනවා ; පටලැවෙනවා ; ගැටෙනවා.
2. පසුබට වෙනවා.

පැගෝඩා

නා.ප්‍ර. ඈත පෙරදිග (චීනය බුරුමය ආදි) රටවල දක්නට ලැබෙන ආගමික ගොඩනැගිලි විශේෂයක් ; දාගැබ.

පැඟිරි

1. නා.ප්‍ර. දෙහි, දොඩම්, නාරන් ආදියේ ලෙල්ලෙහි ඇති සැර සුවඳ.
2. එහි යුෂ.
3. නාරං වර්ගයට අයිති දෙහි, දොඩම් ආදි ගස්.
4. පැඟිරිමානා ; පැඟිරි සුවඳැති උස තෘණ විශේෂය.
5. එයින් සිඳ ගැනෙන සුවඳැති තෙල්.

පැටලිල්ල

නා. අවුල ; ව්‍යාකූලත්වය.

පැටවා

1. නා. නොවැඩුණු අවස්ථාවේ සිටින සතා ; පැටියා ; පෝතකයා.
2. කුඩා පිරිමි දරුවා ; ළාබාලයා.

පැටවුම

1. නා. අන්තර්ධාන වීම ; අතුරුදහන්වීම ; නොපෙනී යෑම ; සැඟවීම.
2. බඩු භාණ්ඩ ගෙනයාම පිණිස වාහන ආදියක තැන්පත් කිරීම ; පැටවීම.

පැට්‍රෝලියම්

නා.ප්‍ර. ස්වාභාවික ව ළිංවලින් ලබාගන්නා ගිනි ගන්නා සුලු තෙල් ; ඛනිජ තෙල්.

පැටි

1. වි. ප්‍රකට ; ව්‍යක්ත.
2. මුවා වුණු ; සැඟවුණු.
3. නියුක්ත ; යෙදුණු.
4. බාල ; ළදරු ; කුඩා ; පෝතක.

පැටිකිරිය

නා. පරම්පරාගත අයිතිය හැඟවෙන පරපුරු ලේඛනය ; ඉඩම් ඔප්පුවල සටහන් කෙරෙන පරම්පරාවලිය.

පැටිලිය

නා.ප්‍ර. කුඩා දැරිය ; දාරිකාව ; පොඩිත්තිය.

පැණ

1. නා.ප්‍ර. ප්‍රකට කොට දැනීම ; විශිෂ්ට වූ දැනුම ; මනාදැනීම ; ප්‍රඥාව.
2. පිළිවිසිය යුතු ගැටලුව ; විමසිය යුතු කරුණ ; ප්‍රශ්නය.
3. පුන්කලස ; පූණ ඝටය.

පැණැති

වි. නැණවත් ; ඥානවන්ත ; ප්‍රඥාගුණයෙන් යුත්.

පැණි

1. නා.ප්‍ර. තෙලිදිය උණු කිරීමෙන්, මී බඹර වදවලින් සහ උක්ගස් ආදියෙන් ලබාගන්නා මිහිරි රසැති උකු ද්‍රවය.
2. මල්වල මකරන්දය.
3. ප්‍රාණියා ; ජීවිතය ඇති සත්ත්වයා.
4. පණුවාගේ ගෑණු සතා.
5. වලග ; නගුට.
6. ලාටු.

පැණිතෝරමල්ලි

නා.ප්‍ර. මැණික් වර්ගයක් ; තෝරමල්ලි නම් වූ මැණික් වර්ග පහෙන් එකක්.

පැණිරස

වි. මිහිරි රසය ඇති ; මධුර රසයෙන් යුක්ත.
නා.ප්‍ර. සීනි පැණි ආදියෙහි රසය ; මිහිරි රසය ; මධුරත්වය.

පැතලි

1. වි. සමතලා ; මට්ටම්.
2. ඝනකම අඩු ; තුනී.