සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1091

පිරිස

1. නා. සමූහය ; කණ්ඩායම ; පිරිවර.
2. ඊශ්වර – සේනාව.

පිරිසරම

නා. පරිශ්‍රමය වෙහෙස ; මහන්සිය.

පිරිසිදු

1. වි. පරිශුද්ධ ; නොකිළිටි ; පිවිතුරු ; පවිත්‍ර ; නිර්මල.
2. අවුලක් නැති ; නිරවුල් ; පැහැදිලි.

පිරිසිඳිනවා

1. ක්‍රි. ඇති තතු දැනගන්නවා.
2. කාලය ප්‍රදේශය ආදිය නියමකර ගන්නවා ; මෙතෙකැයි සීමා කරනවා.
3. ඉතිරි නොකර හරිනවා ; සියල්ල නිම කරනවා.
4. මිල නියම කරනවා ; අගය තක්සේරු කරනවා.
5. නිගමනයකට පැමිණෙනවා.

පිරිසිඹුම

1. නා. වෙහෙස ; මහන්සිය ; පරිශ්‍රමය.
2. මැනවින් සිඹීම ; ආදරයෙන් සිපගැනීම.

පිරිසුන් කිරීම

නා. (නීති.) පිරිසිඳීම ; කඩා දැමීම ; අවලංගු කිරීම ; නිෂ්ප්‍රභා කිරීම.

පිරිසෙය මිල

(පාරිභා.) නා.ප්‍ර. කලින් වෙන් කරන ලද මිල.

පිරිසෙව්

1. නා.ප්‍ර. සේවකයා ; උපස්ථායකයා.
2. සේදීම ; තෙමීම ; පරිෂේකය.

පිරිහෙනවා

ක්‍රි. පරිහානියට යනවා ; තිබූ තත්ත්වයෙන් පහතට වැටෙනවා ; හීන භාවයට පැමිණෙනවා.

පිරිහෙළනවා

1. ක්‍රි. අඩු කරනවා ; හීන බවට පත්වෙනවා ; නැතිකර දමනවා ; අත්හරිනවා ; පරිහානියට පත්වෙනවා.
2. අපහාස කරනවා ; අවමන් කරනවා.

පිරිළි

නා.ප්‍ර. රැලි ; තරංගමාලා.

පිරුම්පේනුව

(පාරිභා.) නා. එන්ජිම පණ ගැන්වීමට උදව්වක් වශයෙන් සිලින්ඩරයට ඉන්ධන විදීමේ කටයුත්ත සිදු කිරීම සඳහා උපකාරිවන පේනුව.

පිරුවනවා

1. ක්‍රි. පාඩම් කරනවා ; ඉගෙන ගන්නවා ; හදාරනවා.
2. (බණ වැනි) දෙයක් කියනවා (පිරිත් ආදිය) සජ්ඣායනා කරනවා.
3. (මන්ත්‍ර ආදිය) ජප කරනවා ; පුන පුනා කියනවා.

පිරුවානා පොත

නා. පිරිත් පොත ; සජ්ඣායනා පිණිස සංග්‍රහ කළ පිරිත් සූත්‍ර සමූහය ; පිරිත් සංග්‍රහය.

පිරුවික් අම්ලය

(පාරිභා.) නා. කාබෝහයිරේට් ජීර්ණය වීමේ දී සෑදෙන අන්තර් අම්ලයක්.

පිරුළ

1. නා. තැනට ගැළපෙන කියමන ; උපදේශාත්මක කියමන ; ආදර්ශවත් කීම; ආප්තෝපදේශය.
2. ආපසු දීමට අනුන්ගෙන් ලබා ගත් වස්ත්‍ර භාණ්ඩ වැනි දෙය ; ණය.
3. පිළිතුර ; උත්තරය ; ප්‍රතිඋත්තරය.
4. තෑග්ග ; ත්‍යාගය.

පිරුළු දෙනවා

ක්‍රි. උත්තර දෙනවා ; පිළිතුරු දෙනවා ; ප්‍රතිඋත්තර සපයනවා.

පිරෙනවා

ක්‍රි. රැස් වෙනවා ; එකතූ වෙනවා ; ගොඩ ගැසෙනවා ; සම්පූර්ණ වෙනවා.

පිල

1. නා. මොනර පිල.
2. පක්ෂය ; කණ්ඩායම පාර්ශ්වය.
3. මීවදය.

පිලච්ජාත

(පාරිභා.) වි. (කෘමියකුගේ ජීවන ප්‍රවෘත්තියෙහි) පිලා අවස්ථාව තෙක් ම මව් ශරීරය තුළ වැඩෙන.

පිලන්ධනය

1. නා. පලඳනාව.
2. පැලඳීම ; සැරසිල්ල.

පිලරොයිඩයා

(පාරිභා.) නා.ප්‍ර. පරපෝෂිත ජීවීන්ගේ ගෝත්‍රයක්.

පිලල

නා. මාළුන්ගේ මතුපිට ඇති කොරල.

පිලව් අතුරු රුව

(පාරිභා.) නා. කීට හා සුහුඹුල් යන අවස්ථා දෙක අතර දී ඇති වන වෙනස්කම් අනුව කීටයා පිළිරුවා බවට පත්වීම.