සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1090

පිරිනිවන

නා. බෞද්ධ දර්ශනයෙහි සඳහන් වන පරිදි භවයෙහි නැවත උත්පත්තියක් ඇති නොවන අවසානය ; පිරිනිවන් පෑම ; සතර මාර්ග ඥානයෙන් නිවන අවබෝධ කර ගැනීම.

පිරිනිවෙනවා

ක්‍රි. පිරිනිවන් පානවා ; පරිනිර්වාණයට පත් වෙනවා.

පිරිපත

1. නා. අනතුර ; උවදුර ; උපද්‍රවය ; ව්‍යසනය.
2. විරෝධය ; බාධාව.

පිරිපහදුව

(පාරිභා.) නා. යන්ත්‍ර මාර්ගයෙන් බොර තෙල් පිරිසුදු කොට පැට්රෝල් භූමිතෙල් ආදිය ලබා ගන්නා ස්ථානය ; ප්‍රසාදනාගාරය.

පිරිපුන්

1. වි. සර්වාකාරයෙන් පිරුණු ; සම්පූර්ණ ; පරිපූර්ණ.
2. (ජීව) අවයව සියල්ල ක්‍රියා කරන.

පිරිබඩ

නා.ප්‍ර. ගැල්වීම ; ගෑම ; ආලේප කිරීම ; තැවරීම.

පිරිමදිනවා

1. ක්‍රි. අතගානවා ; ස්පර්ශ කරනවා ; පරිමාර්ජනය කරනවා.
2. (පාරිභා.) (ලෝහ) ඔප දමනවා.
3. පිරිසිදු කරනවා ; ශුද්ධ කරනවා.
4. සලකා බලනවා ; පරික්ෂා කරනවා.

පිරිමසනවා

1. ක්‍රි. රකිනවා ; රැකබලා ගන්නවා.
2. පෝෂණය කරනවා.
3. අඩුපාඩු සකසනවා ; මදිපාඩු පුරවනවා ; සම්පූර්ණ කරනවා.
4. ඉෂ්ට කරනවා.
5. සොයා බලනවා ; පරික්ෂා කරනවා.
6. සකස් කරනවා ; සකසනවා.
7. අරපරිස්සම් කරනවා ; පරෙස්සම් කරනවා.
8. (භාවනාව) පුරුදු කරනවා ; මනාව වඩනවා.
9. ප්‍රයෝජනයට ගන්නවා ; භාවිත කරනවා.
10. අලුත්වැඩියා කරනවා ; ප්‍රතිසංස්කරණය කරනවා.

පිරිමැසුම් නියමය

(පාරිභා.) නා. කරුණු සනාථ කිරීමට අවශ්‍ය ප්‍රමාණයට වඩා හේතු සාධක හෝ බලපෑම් පරිකල්පනය නොකළ යුතුය යන තර්කශාස්ත්‍ර න්‍යාය.

පිරිමියා

1. නා. පුරුෂ නිමිති ඇත්තා ; පුංබව ඇත්තා ; ගැහැනියක නොවන්නා ; මිනිසා ; පුරුෂයා.
2. ප්‍රමුඛයා.

පිරිය

1. නා.ප්‍ර. රුචිය ; කැමැත්ත ; ආසාව
2. ප්‍රීතිය ; සතුට.

පිරියත

වි. සෑහීමට පත් ; තෘප්තියට පැමිණි.
1. නා.ප්‍ර. ප්‍රගුණ කටයුතු ධර්මය ; ත්‍රිපිටක බුද්ධ ධර්මය.
2. කෙළවර ; අවසානය ; පර්යන්තය.

පිරියම

නා. (අභි.) 1. (භාවනා කිරීමේ දී) පළමුව කළ යුත්ත ; පූර්ව කෘත්‍යය ; පරිකර්මය.
2. ප්‍රතිසංස්කරණය ; අලුත්වැඩියාව ; පිළියම.
3. සායම ; ආලේප කළ දේ.

පිරියම් කිස

නා.ප්‍ර. (අභි.) පඨවි ආදී කසිණ මණ්ඩලයක් අරමුණු කොට භාවනා කිරීමේ කෘත්‍යය.

පිරිරැඹ

ක්‍රි.වි. වැළඳගෙන ; පරිරම්භණය කොට.

පිරිවට

1. නා.ප්‍ර. සෝදා පිරිසිදු කරන ලද වස්ත්‍ර ; අලුත් රෙදි.
2. පාවිච්චිකොට ආපසු දීමට ලබාගන්නා රෙදි.
3. ආපසු දීමට ලබාගත් භාණ්ඩ.

පිරිවටනවා

1. ක්‍රි. පවුරු වැට අගල් ආදියෙන් වටකරනවා ; කවාකාර බවට පත් කරනවා ; පරික්ෂේප කරනවා.
2. ගානවා ; මදිනවා ; පිරිමදිනවා.
3. කරකවනවා ; බමවනවා.
4. මනා කොට පවත්වනවා ; සංවරභාවය ඇති කරනවා.

පිරිවන

1. නා. භික්ෂූන්ගේ වාසස්ථානය ; ආවාසය.
2. ඉගෙන ගන්නා තැන ; පිරිවහනය කරන ස්ථානය ; අධ්‍යයන ආයතනය.

පිරිවර

1. නා. එක්ව හැසිරෙන සහායක පිරිස , ළඟ වෙසෙන යටත් ජනයා ; ඇසුරෙහි සිටින පිරිස ; පරිවාර ජනයා.
2. ඉදිරිපත් කිරීම ; පෙරටු කිරීම.
3. අවයව ; අංගෝපාංග.

පිරිවැජි

වි. බුදුසසුනෙන් පිටත පැවිද්ද ලත් ; පැවිදි ; පරිබ්‍රාජක.

පිරිවැටුම

නා. වෙළඳ භාණ්ඩයක දළ අළෙවිය.

පිරිවැටුම් බද්ද

(පාරිභා.) නා. පිරිවැටුම පදනම් කොට රජය මගින් පනවනු ලබන බදු විශේෂයක්.

පිරිවැස්ස

නා. යමක් දමා ගැනීම හෝ අවුරා තැබීම සඳහා පොල්කොළ ආදියෙන් සාදාගන්නා උපකරණය ; පැස ; යමක් අවුරා ඇති දෙය ; ආවරණය.

පිරිවුළු

1. නා.ප්‍ර. තාවකාලික දෙය ; තහවුරු නොවන දෙය.
2. ණයට ගත් දෙය ; ඉල්ලා ගත් දෙය.
3. ගනුදෙනුව ; හුවමාරුව.