සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1089

පියු

පියනවා යන්නෙහි අතී.කෘද. වි. 1. හැර දැමූ ; බැහැර කළ ; ඉවත් කළ ; පහ කළ.
2. වැසූ ; වසාගත්.
3. සඟවන ලද ; මුවහ කළා වූ.

පියුම

1. නා. ජලජ පැළෑටියක්.
2. ඒ පැළෑටියේ ඉතා රූමත් සුදු හෝ රතු මල ; පද්මය ; නෙළුම.
3. සිරිකත ; පද්මාව ; ශ්‍රී කාන්තාව.
4. පද්‍යය ; කවිය.
5. පද්‍ය වෘත්තයක නාමය.

පියුමකර

1. නා.ප්‍ර. නෙළුම් විල ; විල ; පද්මාකරය.
2. පද්‍ය වෘත්තයක් ; පද්මාකර.

පියුමරාමිණ

නා.ප්‍ර. පද්මරාග මාණික්‍යය.

පියුම්

1. නා.ප්‍ර. නෙළුම්.
2. වැසීම් ; සැඟවීම් ; මුවහ කිරීම්.
3. දුරු කිරීම් ; බැහැර කිරීම් ; ප්‍රතික්ෂේප කිරීම්.
5. ඇස් පිහාටු ; ඇසිපිය.

පියුම් මිතුරු

නා.ප්‍ර. හිරු ; සූර්යයා.

පියුම්කත

නා. සිරිකත ; ලක්ෂ්මි.

පියුමාසනය

[පියුම් + ආසනය]
නා. භාවනානුයෝගින් හිඳගන්නා ඉරියවුවක් ; අරමිණිය ගොතා දකුණත දකුණු කලවය මත්තේ ද වමත වම් කලවය මත්තේ ද තබා හිස කෙළින් තබා හිඳීම.

පියුමිළු

[පියුම් + ඉළු]
නා.ප්‍ර. පියුම් වනය ; නෙළුම් වනය.

පියෙවි

නා.ප්‍ර. (ව්‍යාක.) ප්‍රකෘති නාම හෝ ක්‍රියා පදයක මූල රූප හෙවත් ප්‍රත්‍යය නො ගැන්වූ රූප.
වි. ස්වාභාවික ; ප්‍රකෘතියෙන් වූ.

පියොදනවා

1. ක්‍රි. එවනවා.
2. යවනවා ; ප්‍රේරණය කරනවා ; ඇතැම් ක්‍රීඩාවල පන්දුව එයට පහර දෙන්නා නොහොත් පහර දෙන පිල කරා මෙහෙයනවා ; යවනවා.

පියොබඳ

නා. ප්‍රියංකර ශරීරයක් ඇති කාන්තාව ; ප්‍රිය දේහිනිය ; ප්‍රියාංගිනිය.

පියොව

1. නා. ක්‍රියාව.
2. කරුණ ; උපාය.
3. ගමන් විලාසය.
4. ස්වභාවය ; ආකාරය.

පිරමිඩය

1. නා. පතුල සාමාන්‍යයෙසෘජුකෝණාස්‍රාකාර වූ ද, ත්‍රිකෝණාකාර වූ ද, මුදුන ශිඛරයක් වූ ද ඝන වස්තුවක්
2. ඒ හැඩයෙන් යුක්ත ව මිසරයේ පාරාවෝ රජවරුන් ඉදි කළ අති විශාල සොහොන්කොත්.

පිරි

වි. පිරුණු ; සම්පූර්ණ වූ.
1. නා.ප්‍ර. අගල ; පරිඛාව.
2. පිරිස.

පිරිකර

1. නා.ප්‍ර. පරිෂ්කාර ; පැවිද්දන් විසින් පරිහරණය කරනු ලබන පාත්‍ර චීවර ආදිය ; පැවිදි ජීවිතයට අවශ්‍ය දේ.
2. ආභරණ.
3. වෑ පොරෝ ආදී උපකරණ.

පිරික්සුම්

නා.ප්‍ර. පිරික්සීම ; පරික්ෂාව ; මැනවින් සොයා බැලීම.

පිරික්සුම් පහන

නා. (විද්‍යාත්මක පරීක්ෂණවල දී සහ දුර බැලීමේ දී උපයෝගී වන) දීප්තිමත් එළියක් ඇති විදුලි පහන ; දුර පිහිටි දේ බැලීමට උපයෝගි කරගන්නා ඉතා දීප්තිමත් විදුලි එළිය.

පිරිකුඹු

නා.ප්‍ර. පිරුණු කළය ; පුන්කළස ; පූර්ණ කුම්භය.

පිරිකෙව්

1. නා.ප්‍ර. හාත්පසින් වට වී පැවැත්ම ; පරික්ෂේපය ; පවුරු ප්‍රාකාර ආදියෙන් වට කොට පැවැත්ම.
2. ප්‍රාකාරය ; පවුර ; වැට.

පිරිගා

1. නා.ප්‍ර. රැක්ම ; ආරක්ෂා කිරීම් ; ගෝපණය ; රැකවල්.
2. පරිගෘහිත දේ ; අරක්ගත් වස්තු ; සිහිනුවණින් අල්ලාගත් දේ.
3. අයිතිය ; බැඳීම; සම්බන්ධය.

පිරිණමනවා

ක්‍රි. සම්භාවනා පෙරටුව දෙනවා ; පරිත්‍යාග කරනවා ; පූජා කරනවා.

පිරිත

නා. (විපත් දුරුකර සැපත් ළංකර ගැනීමට හා සියලු දුක් බය රෝග උපද්‍රවයන් සංසිඳුවා ගැනීම සඳහා සජ්ඣායනා කරනු ලබන) බෞද්ධ සූත්‍රධර්ම කොට්ඨාසයකට දී ඇති නාමය.

පිරිදහනවා

ක්‍රි. ඇඟලනවා ; අඳිනවා ; පරිධානය කරනවා.