සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 110

අනුත්පාදනය

නා.නොඉපදවීම; නොහටගැනීම; අනුත්පාදය.

අනුත්සද

වි. අධික නොවූ; උත්සන්න නොවූ.

අනුත්සාහය

නා. උත්සාහ රහිතබව; වීර්ය නොකිරීම; මහන්සි නොවීම.

අනුත්‍රස්ත

වි. බිය නොවූ; තැති ගැනීම් රහිත.

අනුත්‍රාසය

නා. භය නොවීම; තැති නොගැනීම.

අනුතාපය

නා. පසුතැවිල්ල; පශ්චාත්තාපය.

අනුතීර

වි. වෙරළ දිගට පවතින; වෙරළ දිගේ ඇති; වෙරළ සමීපයේ පිහිටි.
නා.ප්‍ර. වෙරළ දිගේ හෝ වෙරළ සමීපයෙහි පිහිටි කොටස.

අනුතීර ප්‍රවාහය

(පාරිභා.) නා. (වෙරළ) සමීපයෙහි ගමන් ගන්නා දියවැල.

අනුතීර වෙළඳාම

(පාරිභා.) නා. නැව් තොටවල් අතර කෙරෙන වෙළෙඳාම.

අනුතුරු

1. වි. වඩා උසස් කෙනෙකු නැති; වඩා උසස් දෙයක් නැති; අති උත්තම.
2. වි. උත්තර නැති; පිළිතුරු දිය නොහැකි.
3. වි. උතුර නොවන, දකුණු.

අනුථේර

නා.ප්‍ර. වැඩිමහලු පිළිවෙළින් මහ තෙරුන්ට දෙවැනිව සිටි තෙරනම.

අනුදක

වි. දිය නැති; නිරුදක.

අනුදත්

වි. අවසර දෙන ලද; අනුදක්නා ලද.
අනුදයාව, අනුද්දයා(ව)
නා. කරුණාව.

අනුදර්ශනය

නා. නුවණින් සලකා බැලීම; මෙනෙහි කිරීම; අනුපස්සනාව.

අනුදල

නා.ප්‍ර. කුඩා මල්පෙති.

අනුදහනය

නා. දැවීම; පිළිස්සීම.

අනුද්ධත

[අන් + උද්ධත]
වි. උඩඟු නොවූ; ආඩම්බර නොවූ; නිරහඞ්කාර.

අනුද්භූත

වි. ප්‍රකට නොවූ; අප්‍රකට.

අනුද්වාරය

නා. ඩිම්බයක අග්‍රයෙහි පිහිටා ඇති පරාග නළය ඇතුළු වන කුඩා සිදුර.

අනුදාත්තය

1. (ව්‍යාක.) නා. උස් නොවූ හඬින් උච්චාරණය කරන ලද ශබ්දය.
2. නා. ස්වර පහත් හඬින් උච්චාරණය කිරීම.
3. නා. එසේ උච්චාරණය කරනු ලබන ස්වරය.

අනුදාර

[අන් + උදාර]
වි. උසස් නොවූ; උතුම් නොවූ; ශ්‍රේෂ්ඨ නොවූ.

අනුදාහෘත

[අන් + උදාහෘත]
වි. උදාහරණ වශයෙන් නොදක්වන ලද; ගෙනහැර නොපෑ.

අනුදැනීම

නා. අවසරය; අනුමතය; කැමැත්ත.

අනුදිග

නා. ප්‍රධාන දිශා දෙකක් අතර පිහිටි දිශාව; ඊශාන, ගිනිකොන, නිරිත, වයඹ යන දිසා හතර.