සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1105

පුරවමිය

1. නා. සුරංගනාව ; පුර ස්ත්‍රිය.
2. අන්තඃපුර ස්ත්‍රිය.

පුරවාසල

නා. නුවරේ දොරටුව ; නගර ද්වාරය.

පුරවැසි

වි. නගරයෙහි වසන ; ප්‍රජා අයිතිය ඇති ; රටවැසි බව ඇති.

පුරවැසියා

නා. නගරවැසියා ; රටවැසියා.

පුරශ්චාර්වකය

(පාරිභා.) නා. දත් වර්ග සතරින් එකක්.

පුරස්කාරය

1. නා. යමෙකුට පිරිනමන ගෞරවණීය තත්ත්වය ; උසස් සම්මානය.
2. (පාරිභා.) රජකම ; රාජ්‍යත්වය.
3. (පාරිභා.) ඉඩම් හිමියාට හෝ පොතක කර්තෘට හෝ ගෙවන ආදායම් කොටස.

පුරස්ථ ග්‍රන්ථිය

(පාරිභා.) නා. පුරුෂ ප්‍රජනක පද්ධතියට අයත් ග්‍රන්ථියක්.

පුරසාරම

නා. අධික ව කරන ආත්ම වර්ණනාව ; පුරාජේරුව.

පුරා

ක්‍රි.වි. සැම තැන සම්පූර්ණයෙන් ම ; මුළුල්ලෙහි ම.- අව්‍ය. පෙර ; පූර්වයෙහි ; ඉස්සර ; ඉහත.

පුරාකෘත

වි. පෙර කරන ලද ; ඉහත දී කළ.

පුරාජේරුව

නා. පුරසාරම.

පුරාණ

වි. අලුත් නොවූ ; පැරණි ; කල්ගත වූ.
නා.ප්‍ර. හින්දු දේවකථා ඇතුළත් වීර කාව්‍ය අන්තර්ගත අටළොස් සංඛ්‍යාත සංස්කෘත ග්‍රන්ථ සමූහයක් ; පොරාණ.

පුරාණ ගිවිසුම

නා. (ක්‍රිස්ති.) බයිබලයේ පැරණි පිටපත ; පුරාණ තෙස්තමේන්තුව.

පුරාණ පාෂාණ යුගය

නා. අති පුරාණයේ ගල්වලින් රළු මෙවලම් සාදාගෙන මානවයන් ජීවත් වූ කාලය ; පුරාණ ශිලා යුගය.

පුරාලිපි

නා.බහු. පැරණි ලියවිලි ; පුරා ලේඛන.

පුරාලිපි විද්‍යාව

නා. පැරණි ලියවිලි පිළිබඳ විද්‍යාව ; පැරණි අක්ෂර හා ලිපි පිළිබඳ ශාස්ත්‍රය.

පුරාවර්තී පරම්පරාව

(පාරිභා.) නා. පියමුතු පරම්පරාව ; අතීතයට යන පිළිවෙල.

පුරාවස්තු

නා.බහු. පැරණි කාලයට අයත් පුරාවිද්‍යාත්මක අගයක් ඇති දේ.

පුරාවිද්‍යාව

වි. පුරාවස්තු පිළිබඳ විද්‍යාව.

පුරාවෘත්තය

1. නා. යම් කරුණු හෝ පුද්ගලාදීන් හෝ සම්බන්ධයෙන් ගොඩනැගී සාම්ප්‍රදායික ව පැවත එන පැරණි කතා පුවත.
2. පැරණි ඉතිහාසය දැක්වෙන ප්‍රවෘත්තිය.

පුරාශිලා යුගය

නා. මිනිසා රළු ගල් උපකරණ භාවිත කළ ආදි කාලපරිච්ඡේදය ; පාෂාණ යුගයෙහි මුල් කොටස.

පුරින්දද

නා.ප්‍ර. දෙදෙව් ලොවට අධිපති ශක්‍ර දේවේන්ද්‍රයා.

පුරිස

1. වි. පුරුෂ ; පුරුෂයා පිළිබඳ.
2. ඵරුෂ ; නපුරු ; චණ්ඩ.

පුරිසදම්මසාරථි

නා.ප්‍ර. නව අරහාදී බුදුගුණ අතරින් එකක්.