සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 116

අනුපෝසථය

නා. උපෝසථ නොවන දිනය.

අනුබද්ධ

1. වි. එකට බැඳුණු; නිතර සම්බන්ධ වී පවත්නා.
2. (පාරිභා.) වි. පරස්පර සම්බන්ධයකින් බැඳුණු.
1. (පාරිභා.) නා.ප්‍ර. ප්‍රජනනය සඳහා ලිංගික වශයෙන් සම්බන්ධ වීම.
2. නා.ප්‍ර. ක්ෂුද්‍රාන්ත්‍රය මහාන්ත්‍රයට සම්බන්ධ වන ස්ථානය සමීපයෙහි පිහිටි පණුවකු වැනි අවයවය; උණ්ඩුක පුච්ඡය; උණ්ඩුකය.

අනුබද්ධ ප්‍රදාහය

(පාරිභා.) නා. උණ්ඩුක පුච්ඡයේ ඇති වන ප්‍රදාහය; ඇපෙන්ඩිසයිටිස් (=appendicitis).

අනුබද්ධනාභි

(පාරිභා.) නා.ප්‍ර. එකකින් නිකුත් වන ආලෝක කිරණ අනිකේ දී හමු වන පරස්පර සම්බන්ධයක් ඇති ලක්ෂ්‍ය දෙකක්; ප්‍රතිබද්ධ නාභි.

අනුබද්ධව්‍යාධි

නා.ප්‍ර. මුල් ව්‍යාධියකින් හටගන්නා දෙවන ව්‍යාධිය.

අනුබන්ධනය

1. නා. එකට බැඳීම; උපාඞ්ගයක් වශයෙන් එකතූ කිරීම.
2. නා. අනු ව යෑම; ලුහුබැඳීම; පසුපස්සෙහි යෑම.

අනුබන්ධය

1. නා. බැඳීම; සම්බන්ධය; එක් ව පැවතීම.
2. (ව්‍යාක.) නා. යම්කිසි කාර්යයක් සඳහා සලකුණක් වශයෙන් ධාතු ආදියට සම්බන්ධ කරනු ලබන වර්ණය.
3. නා. සාහිත්‍ය කෘතියක අවශ්‍ය අංගයක්.
4. (පාරිභා.) නා. උණ්ඩුක පුච්ඡය; අනුබද්ධය.

අනුබඳ

වි. එකට බැඳුණු; නිතර සම්බන්ධ වී පවත්නා; අනු ව ගිය; ලුහුබැඳි.
ක්‍රි.වි. නිතර; නොකඩවා.

අනුබඳිනවා

ක්‍රි. අනු ව යනවා; පසු පස්සෙන් යනවා; ලුහුබඳිනවා.

අනුබලය

1. නා. යුද්ධ හමුදාවක් පසුපස ගමන් කරන බළ පිරිස; පශ්චාත් භටහමුදාව; ආධාර පිණිස යවන බළඇණිය.
2. නා. ආධාරය; උපකාරය; පිටිවහල; රුකුල.

අනුබ්‍යඤ්ජිත

වි. ලකුණු කරන ලද; ලක්ෂිත වූ.

අනුබ්‍රෑහිත

වි. වැඩූ; දියුණු කරන ලද.

අනුබුද්ධ

වි. අවබෝධ කළ; චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළ.

අනුබුදු

නා.ප්‍ර. බුදුන්වහන්සේට දෙවැනි වූ මහතෙරුන් වහන්සේ (මිහිඳු, සැරියුත්, මුගලන් ආදි මහ රහතන් වහන්සේ සම්බන්ධයෙන් ව්‍යවහාර යි); අනුබුද්ධ.

අනුබුව

නා. දිය සහිත බිම; අනූපය.

අනුභව වස්තුව

නා. උපභෝග කළ යුතු වස්තුව; අනුභවයට සුදුසු දෙය.

අනුභවනය

නා. භුක්ති විඳීම; වැළඳීම; විඳීම.

අනුභවනීය

වි. විඳිය යුතු; අනුභව කළ යුතු.

අනුභවය

1. නා. භුක්ති විඳීම; ප්‍රයෝජන ගැනීම; පරිභෝගය.
2. නා. ආහාර වශයෙන් ගැනීම.
3. නා. ස්මෘතියෙන් අන්‍යතර වූ නුවණ.

අනුභාවය

1. නා. මහිමය; තේජස; ප්‍රභාවය; බලය.
2. (අලං සහ නාට්‍ය.) නා. මනෝගත භාවයක් හෙවත් හැඟීමක් පිටතට ප්‍රකාශ කරන කටාක්ෂපාත හෙවත් ඇස් කොන් බැලුම්, ප්‍රියාලාප, මුඛ විකාර ආදි ක්‍රියා.
3. (පාරිභා.) නා. නීතියක් හෝ ගිවිසුමක් හෝ පිළිපැදීම හෝ නොපිළිපැදීම හා සම්බන්ධ තෑග්ග හෝ දඬුවම.

අනුභාෂණය

නා. පසු ව කීම; නැවත කීම; යළිත් ප්‍රකාශ කිරීම.

අනුභාෂාව

නා. මූල භාෂාවකින් බිඳී පවතින භාෂාව; උප භාෂාව.

අනුභුක්ත

වි. වැළඳූ; අනුභව කළ.

අනුභූත

1. වි. අනුභව කළ; විඳිනු ලැබූ. ·
2. වි. දැනගත්; අවබෝධ කළ.